සමන් වික්‍රමාරච්චි මනොවිශ්ලේෂණය භාවිතයට පිවිසෙන්නේ X කණ්ඩායමේ ආභාෂය හරහාය. එබැවින් ඔහු X කණ්ඩායම සහ X කණ්ඩායමේ සිට ඉවත්ව විකාර දොඩවන අයට වඩා වැඩි දෙයක් නොකියයි. පහතින දක්වා ඇති වීඩියෝවේ සංවාදය තුල වික්‍රමාරච්චි විසින් එමී සිද්ධිය පිළිබඳව අදහස් දක්වයි.
එමී සිද්ධිය යනු ලකාන් වෙත මූලික වශයෙන්ම දැඩි ලෙස බලපෑම් සහගත වූ සිද්ධියයි. ඔහුගේ සියලු ඉදිරිපත් කිරීම් සඳහා මෙම සිද්ධියේ බලපෑම පැවතුනි.
එමී යනු තිස් අට හැවිරිදි දුම්රිය ලිපිකාරිණියකි. එසේම ඇය සාහිත්‍ය කරණයේ යෙදෙයි. ලකාන් හට එමී මුනගැසෙනුයේ ඔහු ශාන්ත ඈන් රෝහලෙහි වෛද්‍යවරයෙකු ලෙස සේවය කල සමයෙහිය. ඇයගේ ප්‍රකාශනය නොකළ නවකතාවක එන වීරවරියගේ නමින් ලකාන් විසින් එමී නම් කරන ලදී.
එමී විසින් Huguette Duflos නමැති ඉතා ප්‍රසිද්ධ පැරීසියේ නිළියකට පිහියෙන් ඇන මරා දැමීමට උත්සාහ කරන ලදී. ඇය පැරිසියේ සුප්‍රසිද්ධ නිළියකට එසේ කලේ ඇයි ද යන්න පැහැදිලි කළ නොහැකි තත්වයක් ලෙස සලකුණු විය. ඇය දිනක් සවස රංග ශාලාවකට ඇතුළු වී පිහියකින් නිලියට පහර දී තුවාල කළාය. එම සිදු වීමට පෙර සිටම නිළිය සහ වෙනත් අය විසින් ඇය ගැන අපවාද පතුරුවා හරිමින් සිටි බව එමී විසින් නිරන්තරයෙන්ම කියා සිටියාය. නමුත් ඇයට පීඩා කරන්නන් යැයි කියනු ලබන අය ඇය හට කිසි දිනක හමු වී නොතිබුණි. එමීට සාහිත්‍යමය අභිලාෂයන් තිබූ නමුත් ඇගේ නවකතා සහ කවි එකින් එක ඒ වන විට ප්‍රකාශකයින් විසින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබුණි.
නිලියට කල පහරදීමේ සිද්ධිය පුවත්පත් හරහා එකල දැඩි ප්‍රසිද්ධියට ලක්විය. පෙනී යන ආකාරයෙන් අහේතුක ක්‍රියාවක් වන මෙම සිද්ධිය පිටුපස ඇති තර්කය විමසා බැලීමට ලකාන් උනන්දු විය. ලැකාන් ඇගේ සිද්ධිය ගැන උනන්දු වීමට මුලින්ම හේතු වූයේ ඇයගේ ලේඛනවල තිබූ අසාමාන්‍ය ස්වභාවය නිසාය. ලකාන්ගේ මතය අනුව, එමී සාහිත්‍ය වෘත්තියක් ලෙස කරගෙන යාමෙන්, ඇය වීමට බලාපොරොත්තු වූ හොඳම ආකාරයේ ස්ත්‍රියක වන, සමාජ නිදහස සහ බලය භුක්ති විඳින කාන්තාවකගේ පරමාදර්ශී ප්‍රතිරූපයකට ඇය විසින් පහර දුන්නේය. ලකාන් විසින් මනෝවිශ්ලේෂණය සඳහා “self punishment paranoia” (ස්වයං දඬුවම් පැරනොයාව) නමින් නව සංකල්පයක් හඳුන්වා දෙනු ලබන්නේ මෙම එමී සිද්ධියට අනුගාමීවය. ඊට අදාලව ලකාන් විසින් පැහැදිලිව ප්‍රකාශ කරන කාරණාව වන්නේ එමී විසින් නිළිය වෙත පිහියෙන් ඇනීම යනු ඇත්ත වශයෙන්ම එමී විසින් තමන්ටම පිහියෙන් ඇනගැනීමක් බවය.
එමී ඊර්ෂ්‍යා කළ සහ ඇයට පීඩා කරන්නා වූ, ආධිපත්‍යය දැරූ, කාන්තාව මුලින් ඇගේ සහෝදරිය විසින් මූර්තිමත් කරන ලද අතර (ලකාන් විසින් සිදු කල විමසා බැලීම් තුල එය හෙළි විය) පසුව සමීප කාන්තා මිතුරියක විසින් මූර්තිමත් කර තිබුණි (එය එමී විසින් පිළිගන්නා ලදී).
තමන් පිරිමියෙකු බව තමන්ට හැඟෙන බව එමී විසින් වරක් පිළිගෙන තිබුණි. එසේ නම්, එමීගේ තත්වය, අනන්‍යතාවය පිළිබඳව ගැටලුවක් තුළ, තමා සහ අනෙකා අතර ව්‍යාකූලත්වය තුල මුල් බැස ඇත.
එමී විසින් පිහියකින් පහර දී තුවාල සිදු කල හියුගෙට් ඩුෆ්ලොස් විසින් නියෝජනය කරන ලද්දේ සමාජ ගෞරවය ද, බලය ද, හිමි නිදහස් ගැහැණියයි. එමීගේ අපේක්ෂාව වූයේ ද හරියටම එවැනි ස්ත්‍රියක් බවට පත්වීමයි. ඇය ධනවත්, බලගතු, සමාජ ගෞරවය හිමි සාහිත්‍යවේධිනියක වීමට ප්‍රාර්ථනා කළ අතර, ඇය විසින් පහරදුන්නේ ඇයගේ අභිලාෂයේ මූර්තියටය. එනම්, ඇය විසින් පහරදෙනු ලැබූයේ ඇයගේ ‘ඊගෝ-පරමාදර්ශය’ (‘ego-ideal’) නියෝජනය කරන නිළියටය.
ලැකාන්ගේ අදහසට අනුව එමී පැහැදිලිවම පීඩා විඳීමේ මුලාවෙන් (මෝහයෙන්) පෙළුණි. එමීගේ මුලාවන්හි කැපී පෙනෙන ලක්‍ෂණයක් වූයේ ඇය නීතිය ඉදිරියේ වැරදිකාරිය වී සිරගත වූ විට එම මුලාවන් අතුරුදහන් වීමයි.
ඇගේ මුලාවන් පිටුපස ඇති ප්‍රාර්ථනය අවිඥානික ස්වයං-දඬුවමක් විය. පෙනෙන ආකාරයට එසේ වූයේ ඇගේ වරදකාරී හැඟීම් සමඟ කටයුතු කිරීමට විය හැකිය. ඇගේ සයිකෝසික (psychosis) තත්වය වූයේ ‘ස්වයං දඬුවම් පැරනොයාවයි’. මෙය ෆ්‍රොයිඩ්ගේ එක් සංකල්පයක් වූ අතර වරදකාරී හැඟීමකින් අපරාධකරුවන් වන අය වෙත ඔහු එය අදාළ කරයි. අපරාධයට පෙර පීඩාකාරී හැඟීමෙන් පෙළෙන ආත්මයන් හට ඇතැම් අපරාධ ක්‍රියාවන් සහනයක් ලබා දෙන ආකාරය ෆ්‍රොයිඩ් විස්තර කළේය. දඬුවම් ඇවිලවීමට දරුවන් බොහෝ විට චේතනාන්විතව අශෝභන ලෙස හැසිරෙන ආකාරය ද, දඬුවම් කිරීමෙන් පසු නිහඬව සහ සන්සුන් වන ආකාරය ගැන ද ඔහු ලිවීය.
පහත ආකාරයේ කතා සමාජයේ ඕනෑ තරම් අසන්නට ලැබේ.
“මම උඹ මරලා හිරේ යනවා…” “මම තෝත් මරාගෙන මැරෙනවා…” “මම මරනවා තමයි…මරලා රිමාන්ඩ් වෙනවා සාක්කි නැති නිසා ආපහු එනවා, ආපහු මරනවා”.
වරදකාරී හැඟීම සහ දඬුවම සඳහා හේතු වන්නේ අපරාධය නොවේ (එනම් වරදකාරී හැඟීම හෝ දඬුවම ඇතිකරනුයේ අපරාධය විසින් නොවේ). අපරාධය යනු දඬුවම් ලැබීම සඳහා වන අවශ්‍යතාවයි (එනම් දඬුවම් පමුණුවන ආයතන බලා සිටින්නේ අපරාධයක් වන තෙක්ය). ඒ අනුව දඬුවම් ලැබීම සඳහා වන අවශ්‍යතාවය විසින් වරදකාරී හැඟීම සහ අපරාධයට උපත ලබා දේ.
අපරාධ සහ වරදකාරී හැඟීම් පවත්වාගන්නේ දඬුවම් විසිනි. ඒ, ඒ, අපරාධයට හෝ වරදට අදාළ දඬුවම් තිබේ. එම දඬුවම් පනවන්නේ දණ්ඩ නීති සංග්‍රහයට අනුවය. සාමාන්‍යයෙන් අපරාධ වලින් උපරිම අපරාධය “මිනී මැරීම” ලෙස සැලකේ. දඬුවම උපරිම වන්නේ ද එම වරදටය. අදාළ මිනී මැරුමේ ස්වභාවය අනුව දඬුවම තීරණය වේ. දඬුවම් යනු හිංසනයයි.
ෆ්‍රොයිඩ් විසින් 1916දී සාපරාධි වැරදි සිදු කල රෝගීන් සමග කතා කිරීමේදී වැරදිකාරීත්වය (guilt) පිළිබඳව දැඩි පීඩාකාරී හැඟීම් වලින් ඔවුන් පෙලන බව ඔහුට අවබෝධ විය. ඔවුන්ගේ මෙම දැඩි පීඩාකාරී වරදකාරීත්වයේ මූලාරම්භය (origin) අඥාත වූ මුත්, එය සහනයක් බවට පත්කරන ලද්දේ අපරාධ විනිශ්චය කොමිෂන් සභාව මගිනි. එනම් අපරාධකරුවා ද නොදන්නා ඔහුගේ ක්‍රියාවක් වෙනුවෙන් ඔහුම පත්වන වැරදිකාරීත්වය සඳහා දඬුවම් ලැබුණාය යන සාධාරණත්වය හිමිකර දෙනුයේ අධිකරණය හෝ අපරාධ විනිශ්චය කොමිෂන් සභාවයි (වින්ධිත පාර්ශවය සඳහා යුක්තිය ඉටුවීම යනු එයයි). ඒ අනුව ෆ්‍රොයිඩ් විසින් යෝජනා කොට සිටින්නේ ඇත්ත වශයෙන්ම වරදකාරීත්වය යනු අපරාධ විනිෂ්‍ය කොමිෂන් සභාවේ ප්‍රාථමික දක්කන්නා බවය (primary driver of the commission of the crime). එනම් අපරාධ විනිශ්චය කොම්ෂන් සභාව නොමැති නම් ඔවුන් සඳහා එම සාධාරණතත්වය හිමි නොවේ.
මින් අදහස් වන දෙය වන්නේ කෙනෙකු තුල ඊඩිපල් වරදකාරීත්වය (oedipal guilt) පැවතීම සඳහා එම කෙනා විසින් තම පියා මරා තම මව සමග ලිංගික සම්බන්ධතා පවත්වා තිබීම අවශ්‍ය නොවන බවය. නමුත් එම අභිප්‍රාය පැවතීම හෝ එසේ කිරීම සඳහා වන ආශාව මුල් මනෝලිංගික සංවර්ධනය තුල හටගැනීම ප්‍රමාණවත් බවය. ෆ්රෝයිඩ්ගේ “ශිෂ්ටාචාරය සහ එහි අසහනය”(“Civilization and its Discontents”) කෘතිය තුල ප්‍රධාන තේමාව වන්නේ සහජාශයේ (instinct) ඉල්ලීම් (demands) සහ ශිෂ්ටාචාරයේ සීමා අතර ආපසු නොගෙවිය හැකි ප්‍රතීඝතාවය පිළිබඳවයි. ඊඩිපස් සංකීරණයේ සාර්ථක විසඳුම පවතිනුයේ ශිෂ්ටාචාරයේ අසහනය ඇතුලත ජීවත් වීමට අපට කුමක් විසින් අවසර දෙනවා ද යන්න තුලයි. ඒ අනුව පියාගේ මැදිහත්වීම වෙතින් ඉගෙනගන්නා පාඩම උපකාර කරනුයේ ජීවිතය මුළුල්ලේ අපගේ මාවත සුසර කොට ගැනීමටය. ෆ්‍රොයිඩ්ට අනුව අපට පියා වෙතින් වන දඬුවමේ තර්ජනය අවශ්‍ය වන්නේ අපගේ ආශාවන්ට ලංසු තැබීමට වසඟවීම වලක්වා ගැනීමටය. ඕනෑම මනෝ ව්‍යාධියකින් හෝ නියුරෝසියාවකින් (neurosis) තොර ආකාරයකින් සමාජයට අන්තර්කරණය කිරීමට අපට ඉඩ සලසන තේරීම් කිරීමට (සමාජය තුල තමනට අදාළ ස්ථානයක් තීරණය වීමට) එය අපට උපකාරී වේ.
මේ පිළිබඳව ක්ලෝඩ් ලෙවිස්ට්‍රවුස්ගේ ආභාෂය ලබන ලකාන් දකින දෙය වන්නේ පුද්ගලයා සංඛේත රටාව (symbolic order), භාෂාව, සංස්කෘතික පුරුදු සහ මිත්‍යාවන් ඇතුලත ස්ථානගතව ඇති බවය. ලෙවිස්ට්‍රවුස් විසින් හඳුනාගන්නේ ව්‍යභීචාරි තහනම යනු ඔහු විසින් අධ්‍යයනය කරන ලද සියලු කණ්ඩායම්හි ඥාතිත්වයේ ව්‍යුහය තුල යම් කිසි කාවැදුණු තත්වයක් බවය. ඔහු ප්‍රකාශ කොට සිටියේ ව්‍යභිචාරි තහනම යන්න සාර්වයක් (universal) බවය. එබැවින් ආත්මය (subject) වටකරගන්නා සංඛේත රටාව සැකසෙන්නේ එසේය.
ලකාන්ට අනුව ව්‍යාභිචාරි තහනම යනු ඊඩිපස් සංකීර්ණය තුල පියාගේ භූමිකාවේ සංස්කෘතික බලාත්මක කිරීමයි. ෆ්‍රොයිඩ්ගේ ජීව විද්‍යාත්මක ප්‍රවේශය වෙතින් වෙනස්ව සහ ඊට එරෙහිව ලැකාන් ඊඩිපස් සංකීර්ණය මූලික වශයෙන් සංකේතාත්මක හා භාෂාමය සංසිද්ධියක් ලෙස දකී. ආශාවන් සහ තහනම් කිරීම් අතර ආතතිය ඇති කරන්නේ ව්‍ය්වච්ඡේදක විද්‍යාත්මක වෙනස්කම් විසින් නොව සංකේත රටාවට ඇතුළු වීම විසින් බව ඔහු තර්ක කරයි (එබැවින් ලකානියානු ප්‍රවේශය පවතින සම්ප්‍රදායට එරෙහිව විමුක්ති දේශපාලන දිශානතිය සලකුණු කරයි). ලකාන් එයට කියනු ලබන්නේ ‘පියා පිලිබඳ ප්‍රඥාප්තිය’ (‘The name of the father’) යනුවෙනි (“පියාගේ නාමකරණය” යන්න අර්ථ විරහිත පරිවර්තනයකි). ඒ තහනම රැගෙන එන්නේ සැබෑ පියා විසින් නොව සංකේතීය පියෙකු (symbolic father) විසිනි. ‘පියා පිලිබඳ ප්‍රඥාප්තිය’ යනු සංඛේත රටාව වෙතට අනන්‍යතාවයක් ලබා දෙන සහ ආත්මය සංඛේත රටාව සහ ඊඩිපල් තහනම තුල ස්ථානගත කරන හැඟවුම්කාරකයකි. ලකාන් සහ ෆ්‍රොයිඩ් යන දෙදෙනාම මානසික සංවර්ධනය සඳහා ඊඩිපස් සංකීර්ණයේ ඇති කේන්ද්‍රීයත්වය පිළිබඳව සාර්ථක සංවාදයක නියැලෙයි. නමුත් ආත්මය අපරාදයක් සිදුකිරීම දක්වා වන විස්තාරය වෙතට වන කල්කිරියාව සඳහා මෙය බලපාන්නේ කෙසේ ද? එය එසේ වන්නේ (සංකේතීය) පියාගේ නීතිය ආත්මය විසින් පුරුදු කොට නැති බැවින් සහ එම ආත්මය දඬුවම මගින් පමණක් සහනය ලබනා කාංසා තත්වය තුල හැර දමා ගොස් ඇති බැවිනි. ඊඩිපස් සංකීර්ණය සමග ගනුදෙනුවේදී දඬුවම පිළිබඳව තර්ජනය එවැන්නන් කිසි විටකත් ලබාගෙන නොමැත. පියාට එරෙහි එවැනි ළමා කැරලිකරුවා බලාපොරොත්තු වන්නේ පියාගේ අනුමැතිය වන විට අපරාධාකරුවා අපරාධය සිදු කරනුයේ පොලිස් නිලධාරියාගේ ආකෘතියෙන් සංඛේත පියාගේ අනුමැතිය සෙවීම තුලය. ඔවුන් මෙසේ සංඛේත රටාව තුල ඔවුන්ගේ ස්ථානය සොයයි. ෆ්‍රොයිඩ් විසින් ඊඩිපල් වරදකාරිත්වය, අපරාධකරුවන්ගේ සාපරාධීත්වය සමඟ වරදකාරී හැඟීමක් වෙතින් සම්බන්ධ කරයි. එනම්, මෙහිදී ෆ්‍රොයිඩ් විසින් සාපරාධී ක්‍රියාව සිදු කිරීමට පෙර දරාගත නොහැකි වරදකාරී හැඟීමක් සමඟ අපරාධ හැසිරීම සම්බන්ධ කරයි. මෙම වරදකාරී හැඟීම සඳහා සහනය සලසා දෙන්නේ අපරාධ ක්‍රියාව සඳහා වන කොමිෂන් සභාව (අධිකරණය) මගිනි. එබැවින් වරදකකාරිත්වය අපරාධ ක්‍රියාවට පසුවට වඩා පෙර දැනෙන බව ෆ්‍රොයිඩ් වෙත පෙනී යනුයේ එය ඊඩිපස් සංකීර්ණයේ බේරුම් නොකිරීම තුල මුල් බැසගෙන ඇති බැවිනි. ෆ්‍රොයිඩ්ට අනුව ඊඩිපස් සංකීර්ණය යනු ප්‍රගුණ කල යුතුම (පුරුද්දක් වන්නේ ප්‍රගුණ කිරීමකි) සහ එහි මේ සම්බන්ධයෙන් අසමත් වීම රැගෙන යන්නේ නියුරෝසියාව වෙතය. මෙම සංකීර්ණ ත්‍රිත්ව සම්බන්ධයන් වෙතට යාත්‍රා කිරීමට අප හට නොහැකි නම් පවුලෙන් එපිට ලෝකය තුල අප සඳහා සූදානම්ව සිටින සංකීර්ණ සම්බන්ධතාවන්හි ශතසහස්‍ර සංඛ්‍යාත (ගණන් කල නොහැකි) සංකරණ හා සංයෝජන අතරින් සැරිසැරීමේදී කුමන සම්භාවිතාවක් අපට අත්විය හැකි දෙවල්හි අප සතු කරගත විය හැකි ද? මේ අන්තයෙන්, පියා විසින් පියවර තබනුයේ ළමයා කප්පාදු (castrate) කිරීමට සහ මව ඔහු සඳහාම යන්න බව බේරාගැනීමටය. මෙම ක්‍රියාවේ දර්ශනයේදී ළමයා භීතියට පත්වන අතර මෙම කාංසාව රැගෙන යන්නේ ඔහුගේ මව සඳහා වන ඔහුගේ ආශාවේ අවරෝධනය වෙතටය. එසේම ඔහුගේ පියා කෙරෙහි ඔහු දක්වන ආක්‍රමණය ද අවරෝධනයට ලක් කොට පියා සමග අනන්‍යකරණය ඒ වෙනුවට ප්‍රතිස්ථාපනය කරයි. මෙම මනෝලිංගික සංවර්ධන අවධියේ සාර්ථකව බේරාගැනීමට අසමත් වීමක් හේතුවෙන් ළමයා වෙත ඉතිරිකරනුයේ ඔහුගේ ඊඩිපල් අභිරුචීන් වෙතට සම්බන්ධ වන, මව සමග නිදා ගැනීම සඳහා පියා මරාදැමීම නැමැති වරදකාරීත්වයේ විභව්‍ය, දරාගත නොහැකි, කරදරයකි. ඊඩිපස් සංකීර්ණය මිනිස් සංහතියේ ප්‍රවේනිගත (සංකේතීය වශයෙන් අධ්‍යාහාර වූ) හර්දසාක්ෂිය වෙතට කේන්ද්‍රීය වේ. මිනිසාට තම පියා කෙරෙහි ඇති හැඟීම් සැමවිටම අභිලාෂකාමී හා දෙගිඩියාවෙන් යුක්ත වන අතර එය ප්‍රේමයේ සහ වෛරයේ සංයෝගයකි.
බටහිර ඊඩිපල් සම්ප්‍රදායට (western “oedpal” tradition) අදාළව, මනොවිශ්ලේෂණයේ ඉහත පදනම තුල නැවත නැවතත් මතක් කල යුතු කාරණය වන්නේ ධනවාදය යනු සංකේතීය නීතිය ක්‍රියාත්මක නොවන සමාජයක් බවය.
නැවතත් එමී සිද්ධිය වෙත යොමු වන්නේ නම්, ඇයගේ හිංසා කිරීමේ අභිලාශය තුල ඇයට සහ අයගේ කුඩා පුතනුවන් වෙත තර්ජනය පැමිණීමේ ප්‍රභවය ලෙස ඇය දුටුවේ චිරාත් ප්‍රසිද්ධ කීර්තිමත් චරිතය වූ පැරිස් නිළියයි. ඒ අනුව ‘පරමාදර්ශී ප්‍රතිරූපය’ වූයේ එක විටම ඇගේ වෛරයට පාත්‍ර වූ වස්තුව සහ ඇගේ අපේක්ෂාව බවට පත් වූ වස්තුව යන දෙකමය. ලකාන් මෙහිදී විශේෂයෙන් උනන්දුවක් දැක්වූයේ ප්‍රතිරූපයන් වෙත ඇති මෙම සංකීර්ණ සම්බන්ධය සහ පැරනොයාව තුල සොයා ගත හැකි අනන්‍යතාවය පිලිබඳ අදහස් කෙරෙහිය. ඇගේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට ගැනීම සහ සිරගත වීමට සිදු වීම තුල ඇය විසින් සොයා ගත් දඬුවම යනු ඇයගේ ක්‍රියාවෙහිම සැබෑ ප්‍රභවය විය. එක්තරා මට්ටමකදී ඇය තේරුම්ගන්නේ, ඇයම දඬුවමේ වස්තුව වී ඇති බවය.
ලැකාන්ගේ මෙම නිරීක්ෂණ ඔහුව තම නිගමනය වෙත රැගෙන ගිය අතර ලකාන්ගේ තීරණය වූයේ එමී විසින් නිළියට පහර දීම යනු, එනම්, ඇයගේ පරමාදර්ශයට පහර දීම යනු, ඇත්ත වශයෙන්ම තමාටම දඬුවම් කිරීමේ මාධ්‍යයක් බවයි [ලැකාන්ගේ අදහස් ප්‍රොයිඩ්ගේ තර්කය මත දැඩි ලෙස රඳා පවතින්නේ, පැරනොයාව සමලිංගිකත්වයට එරෙහිව ආරක්ෂාවක් වන බැවින් වන අතර එය ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලියක් (පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමකි), එය හිංසා කිරීමේ මුළාවකට සහ ආදරය කරන තැනැත්තා පීඩා කරන්නා සමඟ හඳුනා ගැනීමට හේතු වේ යන පදනමිනි].
එමී සිද්ධිය ලකාන් සඳහා දැඩිව බලපෑම් සහගත වූ අතර ඒ පිළිබඳව ඔහුගේ විශ්ලේෂණය, ඔහුගේ බොහෝ පසුකාලීන ඉදිරිපත් කිරීම්වල බොහෝ අංගයන් සඳහා කේන්ද්‍රීය විය. එනම්, මූලික වශයෙන්, ‘Narcissism’, ‘The image’, ‘The ideal’, සහ පෞරුෂය ශරීර සීමාවන්ගෙන් ඔබ්බට විස්තීරණ විය හැක්කේ කෙසේද යන්න සහ සංකීර්ණ සමාජ ජාලයක් ඇතුලත එය සංස්ථාපනය වන්නේ කෙසේද යන අංගයන්ය.
නිළිය විසින් නියෝජනය කරන ලද්දේ ඇමීගේම කොටසක් වීම තුල, ඒ තුලින් මනුෂ්‍ය ජීවියෙකුගේ අනන්‍යතාවය ශරීරයේ ජීව විද්‍යාත්මක සීමාවන්ගෙන් පිටත මූලිකාංග ඇතුළත් විය හැකි ආකාරය ඉතා හොඳින් පෙන්නුම් කරයි. එක් අර්ථයකින්, ඇමීගේ අනන්‍යතාවය සාහිත්‍යමය වශයෙන් ඇයම වෙතින් පිටතය.
ඊගොව සතුවන්නේ පැරනොයික ව්‍යුහයක් වන්නේ එය පැරනොයික පරාරෝපනයේ භූමි භාගය බැවිනි.
‘පරමාදර්ශී ඊගොව’ (ideal ego) යනු කෙනෙකු භාරගන්නා ප්‍රතිරූපය වන අතර ‘ඊගෝ පරමාදර්ශය’ (ego ideal) යනු එසේ භාරගන්න එම කෙනා හට ස්ථානයක් ලබා දෙන සහ එම කෙනා දෙස බලන ලක්ෂ්‍යය සපයන සංකේතීය ස්ථානය වේ. යම් කෙනෙකු දාර්ශනිකයෙකු වීමට පෙරුම්පුරමින් දිගින් දිගටම දාර්ශනිකයින්ගේ පොත් කියවන්නේ නම්, එසේ නොමැති නම්, යම් කෙනෙකු සාහිත්‍යධරයෙකු වීමේ ආශාවෙන් නවකතා ලියන්නේ නම්, එය එසේ වියහැකි වන්නේ එම කෙනා යම් දාර්ශනිකයෙකුගේ හෝ සාහිත්‍යධරයෙකුගේ ප්‍රතිරූපය භාරගන්න බැවිනි. එම කෙනා ඔහු සමග අනන්‍ය වන අතර එය පරමාදර්ශී ඊගොව සමග වෙලෙයි. නමුත් එවිට සැබෑ ප්‍රශ්නය වන්නේ, එම කෙනා දාර්ශනිකයෙකු හෝ සාහිත්‍යධරයෙකු සමග අනන්‍ය වෙමින් පවතින්නේ කා වෙනුවෙන් ද යන්නයි. එනම් එකී පුද්ගලයා දාර්ශනිකයෙකු ලෙස අදහස් දක්වන විට හෝ සාහිත්‍යකරණයේ යෙදෙන විට ඔහු දෙස බලා සිටින්නේ කවුරුන් ලෙස ඔහු සිතන්නෙහි ද? ‘ඊගෝ පරමාදර්ශයේ’ මානය මෙයයි.
විද්යාඥයෙකු, වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවෙකු වැනි ලෙස පමණක් නොව පාතාල සාමාජිකයෙකු, පාතාල නායකයෙකු ලෙස හෝ වෙනත් ඕනෑම අකාරයකින් ද මේවා පවතී.
‘ඊගෝ-පරමාදර්ශය’ සහ ‘සුපිරි ඊගෝව’ (super ego) යන දෙකම ඊඩිපස් සංකීර්ණයේ අවනතිය සමඟ බැඳී ඇතත්, දෙකම පියා සමඟ හඳුනාගැනීමේ නිෂ්පාදන වුව ද, ලැකාන් තර්ක කරන්නේ ඒවා පියාගේ ද්විත්ව භූමිකාවේ විවිධ පැතිකඩ නියෝජනය කරන බවයි.
ෆ්‍රොයිඩ්ට අනුව උත්කර්ශණය (sublimation) යනු කලාත්මක නිර්මාණ සහ බුද්ධිමය කටයුතු වැනි ලිංගික නොවන ක්‍රියාකාරකම්වලට ලිබිඩෝව (libido) යොමු කරන ක්‍රියාවලියකි. මෙසේ යොමු කිරීම තුලින්, සමාජීය වශයෙන් පිළිගත නොහැකි ලිංගික ශක්තිය (ලිංගිකත්වයේ විවිධාකාර විපරීතභාවයන් සමගින්) සඳහා සමාජීය වශයෙන් පිළිගත හැකි ගැලවීමේ කපාටයක් ලෙස එය ක්‍රියා කරයි. එවැනි මතයක තාර්කික නිගමනය නම්, සම්පූර්ණ පිරිසිදු බවට පැමිණවීම යනු සියලු විකෘති හා සියලු ස්නායු රෝගවල අවසානය බවයි. කෙසේ වෙතත්, ෆ්‍රොයිඩ්ගේ උත්කර්ශණය (sublimation) පිළිබඳ සටහනේ බොහෝ කරුණු අපැහැදිලිව පවතී.
ෆ්‍රොයිඩ්ගේ වාර්තාවෙන් ගම්‍ය වන්නේ ධාවකය (drive) සෘජු තෘප්තිමත් කිරීමේ ක්‍රමයක් ලෙස විපරීත ලිංගිකත්වය ඇති විය හැකි බවත්, උත්කර්ශණය අවශ්‍ය වන්නේ මෙම සෘජු ස්වරූපය සමාජය විසින් තහනම් කර ඇති නිසා පමණක් බවත්ය.
කෙසේ වෙතත් ලැකාන් තෘප්තිමත්භාවයේ ශුන්‍ය මාත්‍රයක් පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප කරයි. විපරීතභාවය යනු හුදෙක් ලිබිඩෝව මුදා හැරීමේ තිරිසන් ස්වභාවික මාධ්‍යයක් නොව, ජීව විද්‍යාත්මක බලවේගවලට වඩා දැනටමත් තමන් තුළම පවතින ධාවකවලට ඇති දැඩි ව්‍යුහගත සම්බන්ධයක් බව තර්ක කරයි. එනම් ජීව විද්‍යාත්මක බලවේගවලට වඩා එය භාෂාමය බවය.
ෆ්‍රොයිඩ් විශ්වාස කළේ පරිපූර්ණ උත්කර්ශණය සමහර සුවිශේෂී ශෝධිත හෝ සංස්කෘතික මිනිසුන් සඳහා ශඛ්‍ය විය හැකි බවයි. නමුත් ලැකාන් තර්ක කරන්නේ “පුද්ගලයා සඳහා පරිපූර්ණ උත්කර්ශණය අශඛ්‍ය බවයි.”
ෆ්‍රොයිඩ්ගේ ගොඩනැංවීම තුල උත්කර්ශණය යනු වෙනත් (ලිංගික නොවන) වස්තුවකට ධාවකය නැවත යොමු කිරීමයි. කෙසේ වෙතත්, ලැකාන්ට අනුව වෙනස් වන්නේ වස්තුව නොව ෆැන්ටසියේ ව්‍යුහය තුළ එහි පිහිටීමයි.
එනම් ඉහත සඳහන් කල ආකාරයට දාර්ශනිකයින්, කලාකරුවන්, සාහිත්‍යධරයින්, විද්යාඥයින්, වෛද්‍යවරයින්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයින්, වැනි ලෙස පමණක් නොව පාතාල සාමාජිකයින්, පාතාල නායකයින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් මෙම චරිත ස්වභාවයන් පවතිනුයේ ලිංගික නොවන වෙනත් වස්තුවක් වෙතට ධාවකය යොමු වීම තුල නොව ෆැන්ටසි ව්‍යුහය තුල එහි පිහිටීම වෙනස් වීම තුලයි. ධනවාදය තුල ෆැන්ටසිකරණයේ පන්ති විවිධත්වයක් සහ අති විශාල විවිධාංගිකරණයක් පවත්වාගෙන යයි. ධනවාදය තුල පවතිනුයේ ෆැන්ටසි වසංගතයකි. එම වසංගතය භාණ්ඩ සහ සේවා වෙළඳපොලකරණය තුලින් පමණක් නොව අධ්‍යාපනය, දැනුම, සහ ඒ සියල්ලටම අදාලව සහ ඒවා සන්ධානකරණයන් තුලින් ඉස්මතු වන පුද්ගල සුවිශේෂීතාවයන් (දාර්ශනිකයින්, කලාකරුවන්, සාහිත්‍යධරයින්, විද්යාඥයින්, වෛද්‍යවරයින්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයින්… වැනි අනන්‍යතාවය තම ශරීරයට ඔබ්බෙහි දිගේලි වන) සමග ක්‍රියාත්මක වේ. අධ්‍යතන පුද්ගල අනන්‍යතා සලකුණු වන්නේ එසේය.
ඒ අනුව වෙනත් වචන වලින් කිවහොත්, උත්කර්ශණය යනු ධාවකය වෙනත් වස්තුවකට යොමු කිරීම අදාල කර ගැනීම නොවේ. ඒ වෙනුවට ධාවකය වෙතට දැනටමත් යොමු කර තිබුනා වූ වස්තුවේ ස්වභාවය වෙනස් කිරීම, “එයම තුළම වස්තුව වෙනස් කිරීම”, කළ හැකි දෙයක් වන්නේ ධාවකය “දැනටමත් හැඟවුම්කාරකයේ සන්ධානකරණය මගින් ගැඹුරින් සලකුණු කර ඇති බැවිනි (මාක්ස් විසින් පුරෝකථනය කල බිඳ වැටීමක් සිදු නොවී ධනවාදී වෙළඳපොල සාර්ථකව වර්ධනය වන්නේ ඒ තුලිනි).
මේ අනුව වස්තුවක උත්කෘෂ්ට ගුණාංගය වස්තුවේ කිසියම් ආවේණික ගුණාංගයක් නිසා නොව, හුදෙක් ෆැන්ටසියේ සංකේත ව්‍යුහය තුළ වස්තුවේ පිහිටීමෙහි බලපෑමකි.
‘සුපර් ඊගොව’ (super ego) යනු අවිඥානික ආයතනයක් වන අතර එහි කාර්යය වන්නේ මව සඳහා වන ලිංගික ආශාව මර්දනය කිරීමයි. නමුත් ‘ඊගෝ – පරමාදර්ශය’ උත්කර්ශණය වෙත සවිඥානක පීඩනයක් ඇති කරන අතර ආත්මයට පුරුෂයෙකු හෝ ස්ත්‍රියක ලෙස ලිංගික ආස්ථානයක් ලබා ගැනීමට හැකි ඛණ්ඩාංක සපයයි. ‘ඊගෝ පරමාදර්ශය’ සහ ‘පරමාදර්ශී ඊගොව’ පිළිබඳව ඔහුගේ පශ්චාත්-යුද ලේඛන තුළ ලැකාන් වැඩි අවධානයක් යොමු කරන්නේ ‘ඊගෝ පරමාදර්ශය’ ‘පරමාදර්ශී ඊගෝවෙන්’ වෙන්කර හඳුනා ගැනීමටය. මේ අනුව 1953-4 සම්මන්ත්‍රණයේදී ඔහු මෙම සංයුතීන් දෙක අතර වෙනස හඳුනාගැනීම සඳහා වන දෘශ්‍ය ආකෘතිය වර්ධනය කරයි.
එහිදී ඔහු තර්ක කරන්නේ ‘ඊගෝ-පරමාදර්ශය’ යනු සංකේතීය අන්තර් ප්‍රක්ෂේපනයක් වන බවත්, ‘පරමාදර්ශී ඊගෝව’ යනු පරිකල්පනීය ප්‍රක්ෂේපණයක ප්‍රභවය වන බවත්ය.
‘ඊගෝ පරමාදර්ශය’ (ego ideal) යනු පරමාදර්ශී ලෙස ක්‍රියාත්මක වන හැඟවුම්කාරකය, නීතියේ අභ්‍යන්තර සැලැස්මක් මෙන්ම සංකේත රටාව තුල ආත්මයේ පිහිටීම පාලනය කරන මාර්ගෝපදේශකය, සහ එතැන් සිට ද්විතියික (ඊඩිපල්) අනන්‍යකරණය අපේක්ෂා කරනවා යන්න හෝ එම අනන්‍යකරණයේ නිෂ්පාදනයකි.
අනෙක් අතට ‘පරමාදර්ශී ඊගෝව’ (ideal ego) ‘කැටපත් අවස්ථාවේ’ සමපේක්ෂන ප්‍රතිරූපයෙන් ආරම්භ වේ. එය අනාගත සංශ්ලේෂණයේ පොරොන්දුවක් වන අතර එය ‘ඊගෝව’ නැඹුරු වන, ‘ඊගෝව’ ගොඩනගා ඇති එකමුතුවේ මායාවයි. ‘පරමාදර්ශී ඊගෝව’ සෑම විටම ‘ඊගොව’ සමඟින්, පූර්ව ඊඩිපල් ද්විත්ව සම්බන්ධතාවයේ සර්වබලධාරිත්වය නැවත ලබා ගැනීමට සදාකාලික උත්සාහයක් ලෙස පවතී. ප්‍රාථමික අනන්‍යකරණයේදී ගොඩනැගුණ ද, සියලු ද්විතියික අනන්‍යකරණයන් වල මූලාශ්‍රය ලෙස පරමාදර්ශී ඊගොව දිගටම භූමිකාවක් ඉටු කරයි.
ශරීරයේ සහ ස්නායු පද්ධතියේ මුලික සම්පූර්ණත්වය නොමැතිකම මත පදනම් වූ පරාරෝපිත අනන්‍යකරණයක් මගින් ඊගොව සංස්ථාපනය වේ.
කුඩා දරුවෙකු මනුෂ්‍ය ලෝක අවකාශය වෙත පිවිසීමේදී සහ ඔහුගේ චාලක කෘත්‍ය සාක්ෂාත් කර ගැනීමේදී මූලික පරාරෝපනයක මිලක් ගෙවීමට සිදුවේ. මෙය ඕනෑම සමාජයක සිදු වන දෙයකි. නමුත් පන්ති සහිත සමාජයේදී මෙය අති විශාල අසමානත්වයක්, එනම්, පරතරයන් තුල සහ අති විශාල විවිධත්වයක් තුල ක්‍රියාත්මක වේ. ඒ අනුව මූලික පරාරෝපනයට අදාළ විවිධත්වය සඳහා පන්ති අසමානතාවය බලපායි. එසේම එම පන්ති අසමානතාවයට අදාළ හැඟවුම්කාරක සුසන්ධීකරණයන් අභිමුඛ වීම සඳහා විවිධාකාර මාධ්‍යයන් (රූපවාහිනී, සිනමා, අන්තර්ජාලය වැනි… ලෙස) සහ විවිධාකාර අසමානත්වයන් (පන්ති විෂමතාවය තුල දැනුම, භාණ්ඩ සහ සේවා විවිධත්වයට අදාලව) පවතී. ඒ අනුව කුඩා දරුවන් පරරෝපනයට ලක්වීමේ විවිධත්වය සඳහා පන්ති විවිධත්වය බලපායි.
‘කැටපත් අවස්ථාවේ’ සමපේක්ෂන ප්‍රතිරූපයෙන් ආරම්භ වන ‘පරමාදර්ශී ඊගෝව’ අනාගත සංශ්ලේෂණයේ පොරොන්දුවක් (සියලු ද්විතියික අනන්‍යකරණයන් ගොඩනගා ගැනීමට අදාළව) වීමේ ආරම්භය එසේ සලකුණු වේ. ඒ අනුව ජීවිතයේ ආරම්භයේදී දක්නට නොලැබෙන ‘නාසීස්මයේ’ (narcissism) ආසනය වන්නේ ඊගොවයි (ඊගොව යනු ආත්මය විසින් තමන්වම වස්තුකරණය කරගැනීමයි).
පෞරුෂය ශරීර සීමාවන්ගෙන් ඔබ්බට විස්තීරණ වීම සහ සංකීර්ණ සමාජ ජාලයක් ඇතුලත එය සංස්ථාපනය කරගැනීම යනු කෙනෙකුගේ අනන්‍යතාවය සඳහා, එනම් ‘ඊගෝ පරමාදර්ශය’ සඳහා එය එසේ භාරගන්න එම කෙනා හට ස්ථානයක් ලැබීම සහ එම කෙනා දෙස බලන ලක්ෂ්‍යය සපයන සංකේතීය ස්ථානයට ඇති අදාලත්වයයි. එනම්, “මම” මාගේ පරමාදර්ශී ඊගෝව නඩත්තු කල යුත්තේ ඒ දෙස බලා සිටින්නන් වෙනුවෙනි. “මම” ශාරීරිකව සහ මානසිකව වෙහෙසෙමින් සහ එම දෙයාකාරයෙන්ම රෝගාතුර වෙමින්, ඒ සඳහා විශාල වෙහෙසක් දැරිය යුතුව ඇත.
ලකාන්ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය වන ස්ත්‍රිය නොපවතී (Woman does not exist) යන්නෙහි අර්ථය වන්නේ සංකේත රටාව නිර්මාණය වී ඇත්තේ සංයුක්ත වශයෙන් පුරුෂ ලෙසය යන්නයි. එවිට ව්‍යුක්ත පුරුෂයා පවතින අතර ස්ත්‍රිය පවතින්නේ සංයුක්ත ලෙස පමණි. ස්ත්‍රියගේ සහ ස්ත්‍රිය සතු සියලු අර්ථයන් පුරුෂරූපී වේ.
ලකාන්ට අනුව ස්ත්‍රීන් විසින් ඔවුන්ව සාමාන්‍යකරණයට ලක්වීමට ඉඩ නොදේ. ‘ෆැලෝ කේද්‍රීය’ (phallocentric) සාමාන්‍යකරණය වීමට පවා ඉඩ නොදේ. ස්ත්‍රිය යනු ‘රෝග ලක්ෂණයක්’ (“woman is a symptom of man) “වන්නේ එබැවිනි. එනම් ස්ත්‍රියකට පුරුෂ මානසික ආර්ථිකය වෙත සැමවිටම ඇතුල් විය හැක්කේ ෆැන්ටසි වස්තුවක් ලෙස පමණි (පුරුෂ “ආශාවේ වස්තු හේතුව”- object petit a)
මෙම “ඔබ්බට වීම” (“beyond-ness”) සංකේත රටාවෙහි හුවමාරු පදනම් න්‍යායට පටහැනිව (හුවමාරු පදනම් න්‍යාය යම් අකාරයකින් තර්ජනයට ලක් වේ), පිළිගැනීමක් හෝ අන්නෝන්‍ය වශයෙන් ආපහු ගෙවීමක් බලාපොරොත්තු නොවෙමින් (ළදරුවා සමග මවගේ සම්බන්ධය යනු ඇය තම දරුවා වෙතින් පසුකාලීනව යම් යම් දේ බලාපොරොත්තුවෙන් ඇතිවන්නක් නොවේ), කොන්දේසි විරහිතව, දරුවාගේ අවශ්‍යතා සැපයීමේ මවගේ භූමිකාවට ආරෝපණය වී ඇත.
එය තවදුරටත් විස්තර කරන්නේ නම්, දරුවන් සමග ස්ත්‍රියට ඇති සම්බන්ධය පුරුෂයාගෙන් පැහැදිලි ලෙසම වෙනස් වන්නේ, ලේ පෙරාගෙන, වේදනාවෙන් ආරම්භ වන දරුවන් වැදීමේ සිට, කිරි දීම, දරුවන්ගේ අසූචි, මුත්‍ර, ඇතුළු සියල්ල සමග තම දරුවන්ට ඇති සම්බන්ධ තුලයි. දරුවන් වෙතට එවැනි සම්බන්ධයක් පිරිමියාගේ නොමැත. ඒ අනුව නැවතත් ප්‍රකාශ කල හැක්කේ එය හුදු සංකේතීය ගොඩනැංවීමක් නොවන බවය. ස්ත්‍රියගේ දරුවන්ට ඇති ආදරය යනු දරුවන්ට ඇති එම සම්බන්ධය තුල ඇති අනීවාර්ය කොන්දේසියකි. එසේම එය කොන්දේසි විරහිත සම්බන්ධයකි (එමීට පුතෙකු සිටීම, ඇය අත්කොට ගැනීමට බලාපොරොත්තු වූ අනන්‍යතාවය කරා ධාවනය වීම කඩාකපල්ල් වීමට හේතු විය).
ධනවාදය තුල එය කෙතරම් පරාරෝපනයට ලක්වුව ද, එම අර්ථයන් තුල සම්පූර්ණ විය නොහැකි, අර්ථවත් විය නොහැකි, සම්බන්ධයක් එහි ඇත. නමුත් පුරුෂයා සහ තම දරුවා අතර සම්බන්ධය මේ වනවිට සම්පූර්ණ වශයෙන්ම ධනවාදී වටිනාකම් සහ දේපල සබඳතා තුල සංකේතීය ගොඩනැංවීමකි. ස්ත්‍රිය මෙම ගොඩනැන්වීම තුල නොමැත යන්න මින් අදහස් නොවේ. ස්ත්‍රිය ද සිටිනුයේ ඒ තුලය. නමුත් එහි ක්‍රියාකාරීත්වයට (ධනවාදයේ), අර්ථයන්ට බාධා පමුණුවන, අර්ථයකට ගෙන ආ නොහැකි, කොස්සක් ස්ත්‍රිය තුල පවතී.
දැන් කෙනෙකුට විමසිය හැක්කේ එසේනම් “ස්ත්‍රිය නොපවතී” (“Woman does not exist”) යන ලකාන්ගේ සුප්‍රකට ප්‍රකාශයේ අර්ථය කුමක්ද යන්නයි. හොඳින් විමසා බැලුවහොත් ඉහත විස්තර කිරීම තුල ඇත්තේ එම ප්‍රකාශය තහවරු කිරීමයි. එනම් ස්ත්‍රිය පුරුෂ ගොඩනැංවීමක් තුල අර්ථවත් වී ඇති අතර එම ගොඩනැංවීම තුල වියුක්ත ස්ත්‍රිය නොපවතී. එනම් පුරුෂභාවය මෙන්, එම අර්ථයෙන් විශ්වීය ක්‍රියාකාරීත්වයක් ස්ත්‍රීත්වය සතු නොවේ. ස්ත්‍රීවාදීන්, වම්මුන්, ලිබරල්වාදීන්, දිගින් දිගටම උත්සාහ දරනුයේ ධනවාදය තුල එම වියුක්ත ස්ත්‍රිය සොයා ගැනීමට සහ පුරුෂරූපීත්වයෙන් ගොඩනංවා ගැනීමටය.
ලකානියානු ස්ථාවරය ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය හෝ ඒ තුලින් ගොඩනැගුන පශ්චාත් නූතනවාදය සමග සමපාත නොවේ. ඒවායින් වෙනස්ව එය යථාවාදයකි (realism).
ඉහතින් ඉංග්‍රීසියෙන් සඳහන් කල යෙදුම් වලට සිංහල ස්ත්‍රී ලිංගික යෙදීම් නිර්මාණය කරන ලද්දේ කුමාරතුංග මුනිදාසගේ ප්‍රධානත්වයෙනි. එනම්, ජනාධිපතිනිය, අගමැතිනිය, විනිසුරුවරිය, වෛද්‍යවරිය… වැනි ලෙසය. එසේ කිරීමෙන් මුනිදාස බටහිර ගැත්තෙකු බවට පත්වූයේ ද නැතහොත් එසේ කිරීම “අවශෝෂණය” කරගැනීමක් ද යන්න නලින් ද සිල්වා විසින් පැවසිය යුතුය. කෙසේ වෙතත් මුනිදාසගේ ප්‍රවේශය බටහිර ස්ත්‍රීවාදය සිංහල සමාජයට අවශෝෂණය කරගැනීම සඳහා පිටුවහලකි.
“The more saints, the more laughter; that’s my principle. That is to say, the way out of capitalist discourse-which will not constitute progress. if it happens only for some” Lacan
පවතින්නේ එක් පන්තියක් බව තේරුම් නොගනිමින්, නිර්ධන පන්තියක් ඇතැයි සිතමින්, සමාජයේ පහල ආර්ථික තත්වයන්හි පසුවන්නන් වෙනුවෙන් දේශපාලනය කරන පෙ.ස.ප. වැනි වාමාංශික පක්ෂ විසින් නියෝජනය කරනුයේ එම සමාජ කොටස් සඳහා ද සමාන ආර්ථික තත්වයන්, සමාන අයිතිවාසිකම්, වැනි දෑ හිමිවිය යුතු බව පවසමින් ඒවා අත්කොට දීමට වෙහෙසීමේ කාර්යභාරයයි. එනම් ඉහතින් විස්තර කල ස්ත්‍රිය පිළිබඳව තත්වයට හා බටහිර ස්ත්රීවාදයට සදෘශ තත්වයකි.
වර්තමානයේ පන්ති අරගලය යටපත් වී ඇත්තේ පහත දක්වා ඇති ප්‍රකාර හතර තුලිනි:
ප්‍රතිචාර:
https://web.facebook.com/madawa.rp/posts/pfbid02SNnejkP6R3aFd4sLT4yivbdf1gpq1RGLdKVTjtpP95716vtD43zGuB1CMF7v4ry3l