ජනතා විමුක්ති පෙරමුණ විසින් රටේ පාලන බලය ඩැහැ ගැනීම සම්බන්ධයෙන් න්‍යායික වශයෙන් සහ එවැනි ස්ථාවරයක් නොමැතිව එරෙහි වන කණ්ඩායම් වර්ග කිහිපයක් හඳුනාගත හැකිය.
1. උග්‍ර ලිබරල්වාදීන්
2. හිටපු වාමාංශිකයින් (විශේෂයෙන්ම ට්‍රොස්කිවාදී වාමාංශිකයින්)
3. සිංහල බෞද්ධ ජාතිකවාදීන්
4. කිසිඳු දේශපාලන අදහසක් නොමැති ලෙස සැලකිය හැකි උගත් තරුණ පරපුර සහ උගත් මධ්‍යම පාන්තිකයින් (විශේෂයෙන්ම ආර්ථික විද්‍යා උගතුන්). සාමාන්‍යයෙන් මෙම ප්‍රවර්ගයෙන් විශාල කොටසක් (වැඩි කොටස) මේ වන විට ජා.ජ.බ.ට පක්ෂව ද සිටී.
සිංහල බෞද්ධ ජාතිකවාදීන් හැරුණු කොට අනෙකුත් ප්‍රවර්ග තුනට අදාළ මහා පොදු සාධකයක් තිබේ. එනම්, ඒ සමාජ ප්‍රගමනය පිළිබඳව කාරණයයි. ලිබරල්වාදීන්ට අනුව ජවිපෙ වැනි මාක්ස්වාදී පක්ෂයක් බලයට පැමිණියහොත් නිදහස් ලිබරල් ආර්ථිකවාදයට ඉන් බාදා පැමිණ රටේ දියණුව (විද්‍යාත්මක ඇතුළු සකල විධ), වෙළඳපොල, අසීමිත පාරිභෝජනය බිඳ වැටීම සිදු වනු ඇත. හිටපු වාමාංශිකයින්ට අනුව ද ප්‍රශ්නය එයයි. නමුත් බොහෝ වාමාංශිකන්ගේ ඊට අමතර දෘෂ්ටිවාදී අතිරික්තයක් ද පවතී. ඒ ධනේශ්වර සංවර්ධනය මුලින් අවසන් විය යුතු බවය. ඒ අනුව මේ මොහොතේ බලය හෙබවිය යුත්තේ ධනවාදය හොඳින් ක්‍රියාත්මක කල හැකි රනිල් වික්‍රමසිංහ වැනි පාලකයෙකි. ඊළඟ ප්‍රවර්ගය (4 වන) ගතහොත්, ඊට ප්‍රකාශ කල හැකි පැහැදිලි දේශපාලන ස්ථාවරයක් නොමැති අතර ඔවුන් ඉගෙන ගෙන ඇති ආකාරයට සහ ලෝක රටාවේ නැඹුරුව අනුව නවීන පන්නයේ ගෙයක්, හොඳ වාහනයක්, විනෝද චාරිකා, පිට රට සවාරි, මංගල උත්සව, විදේශ අධ්‍යාපනය, පුද්ගලික අධ්‍යාපන ආයතන, සෞඛ්‍යය සේවා, මහා මාර්ග, ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් වැනි දේ සහ ඒ සියල්ල සුමටව පවත්වාගෙන යා හැකි යාන්ත්‍රණයක් බලාපොරොත්තු වේ. ඒ අනුව ගත් කල මෙම ප්‍රවර්ගයේ විශාල කොටසක් ජා.ජ.බ.ට මෙවර ඡන්දය ලබා දෙන්නේ ද ඉහතින් විස්තර කරන ලද ප්‍රවර්ග දෙකෙහි අර්ථය තුලම ලෙස සැලකිය හැකි නමුත් වෙනස වන්නේ දෘෂ්ටිවාදීමය වශයෙන් සමාන වුව ද දේශපාලන ස්ථාවරයක් නියෝජනය නොකිරීමයි. එබැවින් එම ප්‍රවර්ග තුනටම අදාළ මහා පොදු සාධකය වන්නේ ධනවාදයට ඇති කැමැත්තයි. එනම්, ධනවාදී කතිකාවේ නිමග්න වීමයි.
නමුත් සිංහල බෞද්ධ ජාතිකවාදී ප්‍රවර්ගයේ ස්ථාවරය පහසුවෙන් වටහා ගත නොහැකි වන්නේ, එහි ප්‍රකාශකයින්ගේ ආත්මීයත්වන්ට අදාළ අඳුරු ගුහාවක එම ස්ථාවරයට අදාළ මොකක්දෝ රහසක් සිරව ඇති බැවිනි. මෙම රහස ඒ ඒ ආත්මීයන්තාවයන්ට අදාලව විවිධාකාර වෙනස්කම් වලින් යුතු විය හැකි වුව ද ඒ සියලුම ප්‍රකාෂකයින්ට අදාලව “රහස” ක්ෂිතිමය සත්‍යක් ලෙස පවතී. ඔවුනට තම ස්ථාවරය පැහැදිලිව, ඍජුව ප්‍රකාශ කල නොහැකි වන්නේ එබැවිනි. ඒ කෙසේ වෙතත් ජවිපෙ පිළිබඳව ඔවුනට ඇති පොදු ප්‍රශ්නය වන්නේ ජවිපෙ යනු “වාස්තවික යථාර්තය” පිළිගන්නා, ඒ අනුව සමාජ සංවර්ධනය පිළිගන්නා, පැරණි අර්ථයෙන් භෞතිකවාදී දේශපාලන ව්‍යාපෘතියක් වීම ලෙස සැලකිය හැක. නමුත් ප්‍රශ්නය වන්නේ, ජේ.ආර්.ගෙන් පසුව රට තුල සිදු වූ දැවැන්ත විපර්යාසයෙන් පසුව, ඉදිකිරීම් ඇතුළු නාගරීකරණය, වන ගහනය අහිමි වීම, මිනී මැරුම්, කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය, ජේ. ආර්. විසින් ආරම්භ කරන ලද පාතාලයේ ඉහළතම වර්ධනය, පාරිසරික විනාශයන්, අධ්‍යාපනයේ පෙර නොවූ විරූ වර්ධනය, (තවත් බොහෝ කාරනා තිබේ), සිංහල බෞද්ධ ජාතිකත්වයට අදාළ ඔවුන් පවසන සංස්කෘතිය ඛාදනයට ලක්වීම ඇතුළු මුළු සමාජයම ඉතා ඉහල මාත්‍රාවකින් ඛාදනයට ලක්වූයේ 2005 -2015 සමයේ වීමයි. නමුත් ඔවුන් එය නොසලකා හරිමින් මහින්ද රාජපක්ෂ රඟපානා “සිංහල බෞද්ධ ජාතිකත්වයේ” භූමිකාව වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටී. එනම්, ඔවුන් රාජපක්ෂ ව්‍යාපෘතිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියේ ජේ.ආර්.ගෙන් පසුව සිදු වූ එම දැවැන්තම විනාශය නොසලකමින් සහ ඔවුන් පවසන “සිංහල බෞද්ධ ජාතිකත්වය” ට වැඩිපුරම හානියක් වූ සමය පිළිබඳව ද මුනිවත රකිමිනි.
ජා.ජ.බ.ට මෙවර ඡන්දය ලබාදෙන ජනයා සැලකුවහොත් ඔවුන්ගෙන් බහුතරය ඉහත ප්‍රවර්ග හතරෙන් මහා පොදු සාධයක නියෝජනය වන 4වන ප්‍රවර්ගයට අයත් සහ අයත් නොවන ලෙස පවතී. එනම්, එකවිටම උපරිම භාණ්ඩ හා සේවා පාරිභෝජනවාදයක් බලාපොරොත්තු වන අතරම ඔවුන් පෙලන අධ්‍යතන අර්බුධකාරීත්වයෙන් මිදීම ද අපේක්ෂා කරන ජන කොටස බහුතරය අතර වේ.
පහතින් දක්වා ඇත්තේ මධ්‍යම පාන්තික WhatsApp කණ්ඩායමක මාලිමාවට පක්ෂපාතීව සංසරණය වූ බැනරයකි.
ඉහත සඳහන් කල මහා පොදු සාධකය නියෝජනය කරනා ප්‍රවර්ග තුනෙන් 4 වන ප්‍රවර්ගය, එනම්, කිසිඳු දේශපාලන අදහසක් පැහැදිලිව නියෝජනය නොකරන, නමුත් ධනවාදී කතිකාවේ ඉතා ඉහලින් නිමග්නව ඇති ප්‍රවර්ගය (විශේෂයෙන්ම මධ්‍යම පන්තිය) තුල දෙගෙඩියාවෙන් පසුවන විශාල කොට්ටාශයක් ද සිටී. ඔවුනට එක් පැත්තකින් ජ.වි.පෙ. බලය ලබාගැනීම අස්වැසිල්ලක් සේ හැඟී ගිය ද එකෙනෙහිම අනෙක් පැත්තෙන් තම “නිදහස” අහිමි වේය යන විශාල බියක් ද නඩත්තු වේ.
අපගේ ස්ථාවරයට අනුව මිනිසුන් බලාපොරොත්තු වන මෙම “නිදහස” යනු ධනාත්මක තත්වයක් නොව අඩුවක් හෝ අප්‍රාප්තියකි. එනම්, අපගේ ලෝකය පිළිබඳ අත්දැකීම් ව්‍යුහගත කරන භාෂාව, සමාජ ප්‍රතිමාන-සම්මුති සහ නීති සම්මතයන්ගේ පද්ධතිය වන ‘සංකේත රටාවෙහි’ සංරෝධනයන්ගෙන් නිදහස් වීමට බලාපොරොත්තු වීමයි. එවිට නිදහස යන්න භාෂාවට සහ සංකේත රටාවේ නියෝජනයට ළඟාවිය නොහැකි යථෙහි “ප්‍රමෝදය” (“jouissance”) සමඟ සම්බන්ධිත වේ. මෙම ප්‍රමෝදය බොහෝ විට අත්විඳිනු ලබන්නේ සංකේත රටාවේ සීමාවන්ගෙන් මිදීමේ මොහොතක් ලෙසය. යථ පිළිබඳව අත්දැකීම් සංකේතීය සංරෝධනයන් වෙතින් නිදහසේ නිමේෂයන් ප්‍රදානය කල හැකි නමුත් ඒවා ද නොසන්සුන් හෝ කැළඹුණු තත්වයන් වන අතර නැතිවීමක හෝ අර්බුදයක හැඟීමක් ඇති කල හැකිය. සංකේත රටාවේ සීමාවන් කඩාකප්පල් කරන බලවේග නියෝජනය කරනයේ යථ සහ ප්‍රමෝදයයි.
‘නිදහස’ යනු සීමාවන් නොමැතිකම නොව භාෂාව, සමාජය සහ අවිඥානය යන ව්‍යුහයන් තුළ මෙම සීමාවන් හඳුනා ගැනීම සහ ඒ තුල සංචාලනයයි. එනම්, නිදහස පිළිබඳ මෙම සංකල්පයෙන් ඇඟවෙන්නේ සැබෑ නිදහස යනු අසීමිත භාව්‍යතාවයන් පිළිගැනීමක් ගැන නොව සංකේත රටාව මගින් පනවන ලද සීමාවන් තුළ පැවතීම සහ සැරිසැරීම බවයි. එම අර්ථයෙන් නිදහස යනු මෙම සීමාවන් පිළිගෙන ඒවා තුළ නියෝජ්‍යත්වය සහ ආශාව තහවුරු කිරීමට මාර්ගය සොයා ගන්නා පැවැත්මේ ආකාරයක් බවට පත්විය යුතුව ඇත. මෙම ස්ථාවරය සීමාවන් නොමැතිකම ලෙස හඳුනාගන්නා “නිදහස” පිළිබඳ සාම්ප්‍රදායික ලිබරල් සංකල්ප සමඟ ප්‍රතිවිරුද්ධ වන අතර, ඒ වෙනුවට යෝජනා කරන්නේ නිදහස යනු අපගේ පැවැත්ම හැඩගස්වන ව්‍යුහයන් සමඟ දයලෙක්තික සම්බන්ධතාවයක් වීම තුල මිනිස් සත්තාවට පරරෝපනයෙන් මිදිය හැකි බවයි.
මිනිසුන් මූලික වශයෙන් හැඩගස්වනු ලබන්නේ සංකේත රටාව මගිනි. ආත්මයක් බවට පත්වීම සඳහා සංකේත රටාවට ඇතුළත් වීම අවශ්‍ය වන නමුත් අපගේ ආශාවන් සහ අනන්‍යතා භාෂාව සහ සංස්කෘතික සංකේත හරහා මැදිහත් වන බැවින් එය සංරෝධනයන් ද පනවයි. මෙම ක්‍රියාවලියට නෛසර්ගිකව යම් තරමක පරාරෝපනයක් ඇතුළත් වන්නේ පුද්ගලයන් තම ආශාවන් හැඩගස්වා සීමා කරන සංකේත රටාවෙහි නීති සහ ව්‍යුහයන්ට යටත් විය යුතුම බැවිනි. ආශාව යනු සැමවිටම අනෙකාගේ ආශාවයි. නමුත් දැනුමට අදාළ විවිධත්වය-වටිනාකම් සහ ඊට අනුයාත අනන්‍යතාවයන් ඇතුළු ධනවාදයේ ඇති පන්ති විවිධත්වයට අදාළ විශාල ඝාතීය වර්ධනයක් සහිත භාණ්ඩ සහ සේවා පාරිභෝජනය, සංස්කෘතික ක්ෂේස්ත්‍රයේ විවිධත්වයන් තුල ආශාව යනු සැමවිටම අනෙකාගේ ආශාව බවට පත්වීම යනු නොතිත් ෆැන්ටසි වසංගතයකට මගපාදන්නකි. පන්ති සමාජය තුළ, සංකේත රටාව වෙතට සමාජ ධූරාවලිය සහ බල ගතිකත්වය මගින් බලපෑම් ඇති කරයි. එනම්, අපගේ ආශාවන් ද මෙම ව්‍යුහයන් තුළ අපගේ පිහිටීම අනුව හැඩගැසී ඇත.
ආත්මයේ අවිඥානික ආශාවන් සහ ගැටුම්වල ප්‍රකාශනයක් වන “රෝග ලක්ෂණය” (symptom) ලිබරල් නිදහසේ මූලාශ්‍රයක් විය හැකි වන්නේ, අපගේ ආශාවන් සෑම විටම ව්‍යුහගත වී ඇත්තේ අනෙකාගේ ආශාවට අදාලව වීම හේතුවෙනි. ඒ අනුව සැබෑ නිදහස සාක්ෂාත් වනුයේ, අපගේ ආශාව ව්‍යුහගතවන අනෙකාගේ බලපෑමට අදාල අධිකාරීත්වය සහ පන්ති විවිධත්වය අහෝසි කිරීමෙනි. ඒ අනුව අධිකාරීත්වය සහ පන්ති රහිත සන්දර්භය තුළ නිදහස යනු සංරෝධනයන්/සීමාවන් නොමැතිකම නොව සංකේත ව්‍යුහයන් තුළ සැරිසැරීමට සහ තම ස්ථානය සොයා ගැනීමට ඇති සමර්ථය බවට පත් වේ.
ඉහත ස්ථාවරය සංයුක්තව අවබෝධ කර ගැනීම සඳහා ලංකාවේ මධ්‍යම පාන්තික පවුලක් උදාහරණයට ගත හැකිය.
ඔහු ඉංජිනේරුවෙකි. බිරිඳ විද්‍යා අංශයෙන් ඉගෙනගෙන ඉහලට ගොස් රජයේ ඉහලම රැකියාවක් කරන්නියකි. කොළඹ නවීන පන්නයේ නිවසක් ඉදිකර එහි පද්නිචිව සිටී. දරුවා දෙදෙනෙකු සිටින අතර ඔවුන් කොළඹ ඉහලම පාසල් වල ඉගෙනුම ලබති. ඉංජිනේරුවා පුද්ගලික සමාගමක රැකියාවක් කොට මේ වන විට ඉන් ඉවත්ව තම බිරිඳට රජයෙන් ලබාදෙන බලපත්‍රයට ලබා ගත් ප්‍රිමියෝ කාරයෙන් ඌබර් දිවීම අරඹා ඇත. ඔහු අක්කර 17ක පමණ ඉඩම් හිමියෙකු වන අතර පොල් සහ කුරුඳු වලින් මාසිකව අදායම් ලැබේ. මෙම වතු වල කටයුතු වෙනුවෙන් සති අන්තයේ කිලෝ මීටර් 190ක පමණ දුරක් පැමිණෙන ඔහු (ඔහුට ගමේ ද නිවසක් තිබේ) ඉරිදා හවස නැවත කොළඹ බලා පිටත්විය යුත්තේ දරුවන් පාසල් ගෙනයාම, ටියුෂන් ගෙනයාම ඇතුළු නිවසේ කටයුතු සිදු කල යුතුව ඇති බැවිනි. ඔහු නිවසෙහි නොමැති දින දෙකෙහි ටියුෂන් කටයුතු සඳහා කුලියට වාහනයක් ගත යුතුව ඇත.
ඔවුන්ගේ පවුලේ වැඩිම පිරිවැයක් වැයවන්නේ ප්‍රවාහනයට වන අතර ඉන් පසුව වියදම් වන්නේ ඖෂධ, වෛද්‍ය සහ රෝහල් ගාස්තු සහ අධ්‍යාපනය සඳහාය. ඔහුගේ ආදායම් මාර්ග වන්නේ: ඔහු රැකියාවෙන් ඉවත්වන විට එකවර ලැබෙන අර්ථසාධකය ස්ථිර තැන්පතුවක දමා එහි ද පොලිය ලබා ගැනීම, වත්තෙන් එන ආදායම, බිරිඳගේ වැටුප, සහ ඌබර් දිවීමෙන් දිනකට උපයා ගන්නා රුපියල් 10000ක පමණ මුදලයි. වියදම් අත්හැර දල වශයෙන් වත්තෙන් ලැබෙන මාසික ආදායම ලක්ෂ 2ක් පමණ වේ. බිරිඳගේ වැටුප ද ඒ ආසන්නයට වේ. දල වශයෙන් මසකට ලක්ෂ 6ක 7ක පමණ මුදලක් ඔවුන්ගේ පවුල සඳහා වැය වන අතර මූල්‍ය කටයුතු කළමනාකරණය කරගනුයේ ඉතා අමාරුවෙනි.
ඔහු ඉතාම කාර්ය බහුල ජීවිතයක් ගතකරන අතර ඌබර් දිවීමේ කටයුත්ත හවස 2කට පමණ හමාර කරනුයේ ඇඟට අමාරු බැවිනි. ඌබර් දුවන අතරතුර තමන් කලින් කල රැකියාවට අදාළව කල හැකි පාට් ටයිම් රැකියාවක ද නිරත වීමට ඉදිරියේදී බලාපොරොත්තු වේ. ඒ අතරම අපනයන වෙළඳාමකට අවශ්‍ය කටයුතු ද සම්පාදනය කරමින් පවතී.
මෙම පුද්ගලයා සහ පවුල අයත්වන්නේ ඉහතින් සඳහන් කල මහා පොදු සාධකයට අයත් කිසිඳු දේශපාලන අදහසක් නොමැති ලෙස සැලකිය හැකි ප්‍රවර්ගයටයි. ඔහුට තම දරුවන්ගේ ආරක්ෂාව, දේපල වලට ඇති වී ඇති ප්‍රශ්න (නඩු හබ ඇතුළු චන්ඩිගේ බලපෑම්), සමාජය පරිහානියට පත්ව ඇති බව, මත් ද්‍රව්‍ය ඇතුළු පාතාලය, මෙතෙක් රට පාලනය කල දේශපාලන පක්ෂ වල දූෂිත, වංචා සහගතභාවය, රාජ්‍ය ආයතන වල දූෂණය සහ අකාර්යක්ෂමතාවය, මහ මග ගමන් කිරීමේදී ඇති වන ප්‍රශ්න වැනි දෑ සිහිවීමේදී ජවිපෙ බලයට පැමිණෙන්නේ නම් කැමැත්තක් ඇති අතර නැවතත් තමන්ගේ එම කැමැත්ත අකුලා ගැනීමට ඔහුට සිදුවන්නේ ඔහුගේ දරුවන්, දේපල, දේශපාලන අනුග්‍රාහකත්වය තුලින් ලබා ගත හැකි වාසි (උදාහරණයකට ඔහු ඉදිරියේදී සිදු කිරීමට නියමිත අපනයන කටයුත්ත සඳහා), වැනි දෑ සිහිවීමෙන් ජවිපෙ බලයට පත්වනු දැකීමට දැඩි ලෙස එරෙහි වේ. එනම් එකී පුද්ගලයාගේ සවිඥ්ඥාණික තීරණයට බලපානුයේ ඔහුගේ අවිඥාණයයි.
සෑම මධ්‍යම පාන්තිකයෙකුම තම දරුවන් ඉපදෙන විට සිතනුයේ ඔවුන් ඉහලටම ඉගෙන ගෙන (උපරිමය නාසා විද්යාඥයා) සමාජයේ ඉතා හොඳ ස්ථානයක් අත්කරගනු ඇතිය යන්නයි. නමුත් කලක් ඇවෑමෙන් ලංකාවේ විශ්ව විද්‍යාලයකට හෝ ඇතුලත් විය නොහැකි බව තේරුම් යන විට පුද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීමට සිහින මවයි. ජවිපෙ බලයට පැමිණීම ගැන මධ්‍යම පාන්තික පවුල් එරෙහි වන තවත් ස්ථානයක් වන්නේ පුද්ගලික අධ්‍යාපනය සඳහා සීමා පැමිණෙනු ඇතැයි යන බියයි.
ඊට අමතරව තම ජීවිතයට අදාළ කටයුතු වලදී දේශපාලන අනුග්‍රහකත්වය අවශ්‍ය තත්වයක් පවතී. එනම් නිවසක් ඉදි කිරීමේදී ගෙපල් ඇදීමේ සිට සැලසුම් අනුමත කරගැනීම දක්වා, රැකියා ලබා ගැනීම, විදේශ ගත වීම, දරුවෙකු පාසලකට දමාගැනීම, රැකියා මාරු වීම්, පොලීසියකට යාමට සිදුවීමේදී, වැනි ලෙසය. දේශපාලන අනුග්‍රහය නිරන්තරයෙන් අවශ්‍ය නොවූව ද කොයි වෙලේ හෝ තමනට එය අවශ්‍ය වේය යන අපේක්ෂාව මධ්‍යම පාන්තිකයාට අදාලව පමණක් නොව පොදුවේ බහුතර ජනයා සතුව පවතී. ජවිපෙ බලයට පැමිණියහොත් ඒ අකාරයේ දේශපාලන අනුග්‍රහකත්වයන් පැවතිය නොහැකි බව ඒ බොහෝ දෙනා දනී (නමුත් ඉදිරියේදී එම තත්වය වෙනස් විය හැක).
නැවතත් කෙටියෙන් පවසන්නේ නම්, ‘නිදහස’ නැතිවේය යන්න “ජනතාවගේ” ජවිපෙට ඇති බියයි. එවිට නිදහස යනු සංකේත රටාවේ ප්‍රතිමාන උල්ලංඝනය කිරීමට ඇති කැමැත්ත වේ.
ඉහත උදාහරණයේ සඳහන් කල ඉංජිනේරුවා හට අප මෙම තත්වය පැහැදිලි කිරීමට ගියහොත් ඔහු එම කිසිඳු පැහැදිලි කිරීමක් පිළිගැනීමට සූදානම් නොවේ. එසේ සූදානම් නොමැත වීමට පළමු සහ ප්‍රමුඛ හේතුව වන්නේ එම පැහැදිලි කිරීම විද්‍යාත්මකව තහවුරු කොට නොතිබීමයි. එනම්, ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ඇතුළු ආයතනික සහ නිල ධූරාවලිය තුලින් පැමිණෙන අදහසක් නොවීමයි. එවිට ඔහු විසින් භාරගන්නා ජීවිතය සහ ඊට අදාළ ක්‍රියාකාරකම් සියල්ල එකී ආයතන සහ ධූරාවලිය විසින් තහවුරු කොට ඇත.
ඉහත විස්තර කල පරිදි එම පුද්ගලයා අතිශය වෙහෙසකර නොසන්සුන් හෝ කැළඹුණු තත්වයන් තුල තම ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යයි. ක්‍රියා කරනවා මෙන් නොව (ඔහුගේ ක්‍රියාකාරීත්වයට අර්ථකතන පවතින්නේ එය අනෙකාට කරන ඇමතුමක් ද වන බැවිනි), රෝග ලක්ෂණය (symptom) අර්ථකථනය ඉල්ලා නොසිටියි. එනම් රෝග ලක්ෂණයම යනු “අනෙකාට” (Other) කරන ඇමතුමක් නොව කිසිවකුට ආමන්ත්‍රණය නොකළ පිවිතුරු ප්‍රමෝදයකි (jouissance). (ඉහත උදාහරණයේ සඳහන් කල පුද්ගලයා වෙහෙසෙනුයේ ඔහුටම අදාළ පිවිතුරු ප්‍රමෝදයක් දරාගෙනය). එබැවින් “කෙනෙකුට අදාලව “රෝග ලක්ෂණය අර්ථ දැක්විය හැක්කේ එහි මාර්ගය ලෙස පමණි (ඔහු කරන කටයුතු වල අරමුණු සහගතභාවය සහ අදාළ කටයුතු. “අනෙකා” සඳහා පවතින්නේ ඒවාය). එනම්, අවිඥානය විසින් කෙනෙකු තීරණය වන තාක් දුරට, එම මාර්ගය තුල එක් එක් ආත්මය අවිඥානය භුක්ති විඳින අකාරය ලෙස පමණි. රෝග ලක්ෂණය යනු ආත්මයේ ප්‍රමෝදයේ විශේෂ ප්‍රකාරතාවයි (modality). එය භාෂාවක් මෙන් ව්‍යුහගතව ඇති අවිඥානයට අදාලව ආත්මයේ ප්‍රමෝදයේ විශේෂිත මාදිලියේ හෝඩුවාවක් ලෙස දැකීම දක්වා වීම සින්තෝම් (sinthome) යන පදය හඳුන්වාදීමෙන් අවසන් වේ.
ලැකාන්ගේ සින්තෝමය (sinthome) යන පසුකාලීන ඉදිරිපත් කිරීම [sinthomeය පුද්ගලයෙකුගේ යථාර්ථය සහ ප්‍රමෝදය (jouissance) ව්‍යුහගත කරන අනූපම (unique), පුද්ගලික රෝග ලක්ෂණයකි] විසින් විශ්ලේෂණය කරනුයේ, ධනවාදයේ කාර්ය යනු එවැනි සින්තෝමයන් සඳහා අවශ්‍ය “නිදහස” සංස්ථාපනය කිරීමත් (ඒවායේ ආන්තික උපරිමයක් වන දාම මිනී මරුවන් වැන්නන් සඳහා එසේ නිදහසක් නොමැත), ඊට අදාළ වෙළඳපොල සහ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමත්, නැවතත් දයලක්තිකව ඒ තුලින් විශාල විවිධත්වයක් සහිත සින්තෝම ඇති කිරීමත් යන කාරනා වේ.
ධනවාදය තුල “සින්තෝමය” ලෙස හඳුන්වන දෙය ස්ථාපිත වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නේ එහි සංවර්ධනය සඳහා අවශ්‍ය “නිදහස” ලබා දීමෙනි. ධනවාදයේ සන්දර්භය තුළ, මිනිසුන්ගේ ආශාවන් සහ රෝග ලක්ෂණ ව්‍යුහයන් සපුරාලන වෙළඳපල සහ නිෂ්පාදන පෝෂණය කිරීම මගින් පුද්ගලයන්ට තමන්ගේම සින්තෝමය ස්ථාපිත කිරීමට ඉඩ සලසන කොන්දේසි පද්ධතිය නිර්මාණය කරයි. එම තත්වය උපරිමය වශයෙන් ක්‍රියාත්මක රාජ්‍ය වන්නේ ඇමරිකාවයි. එම අර්ථයෙන් ධනවාදය යනු පුද්ගලයන්ට ඔවුන්ගේ අනන්‍ය ප්‍රමෝදමය රටාවන්හි නිරත වීමට ඉඩ සලසන නිදහසේ ආකාරයකි (ප්‍රජාතන්ත්‍රවාදය). ඉහතින් ද සඳහන් කල පරිදි, මෙම “නිදහස” තේරුම් ගත යුත්තේ හුදු ධනාත්මක අර්ථයකින් නොව, ධනේශ්වර වෙලඳපොල විසින් පිරිනමන බොහෝ තේරීම් සහ භාණ්ඩ සමඟ සැරිසැරීමට සහ සම්බන්ධ වීමට ඇති නිදහස ලෙසය. මෙම පරිසරය තනි පුද්ගල සුවිශේෂතා සහ රෝග ලක්ෂණමය ප්‍රකාශනයන් සපුරාලීම මගින් සින්තෝමයන් පැතිරීම සඳහා සහාය වේ.
ඒ අනුව ඉහත උදාහරණයේ ඉංජිනේරුවා හට අවශ්‍ය වන්නේ ඔහුගේ අවශ්‍යතා සඳහා තව තවත් මුදල් උපයා ගත හැකි ආර්ථිකයක්, ඒ සඳහා අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, දක්ෂයා හට ඉහලට යාමට ඉඩ සලසා දුන් තරඟකාරී නිදහස් අධ්‍යාපනයට අතිරික්තයක් ලෙස සංස්ථාපිත පුද්ගලික අධ්‍යාපනයේ පැවැත්ම (සැබවින්ම අධ්‍යාපනයට අදාළ පෙර පැවති සංකේත රටාව උල්ලංඝනය කිරීමට ධනය ඇති අයට අවස්තාව ලබා දීම එම නිදහසේ ආරම්භයයි. එවිට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මියගිය, වෙහෙසුන, සියලු දෙනා උත්සාහ දරුයේ එම නිදහසට පෙර නිදහස ලෙස සංස්ථාපනය කර තිබූ සංකේත රටාව රැකගැනීම සඳහාය.), වේගවත් සංචරණය සඳහා අවශ්‍ය ප්‍රවාහන සහ යටිතල පහසුකම්, සෞඛ්‍ය, මේ කටයුතු සඳහා වෙහෙසෙන විට විනෝද වීම සඳහා වෙනම කාලයක් සහ අවස්ථා (මේ අර්ථයෙන් විනෝද වීම සඳහා සුවිශේෂී කාලයක් සහ ආකාරයන් ලොව පුරා සංස්ථාපනය වන්නේ ධනවාදය ආරම්භයෙන් පසුවය). එවිට ඔහුගේ ජීවිතය යනු එයයි. එනම්, ධනවාදයේ කාර්ය වන්නේ එවැනි (ඔහුගේ) සින්තෝමයන් සඳහා අවශ්‍ය “නිදහස” සංස්ථාපනය කිරීමත්, ඊට අදාළ වෙළඳපොල සහ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමත්, නැවතත් දයලක්තිකව ඒ තුලින් විශාල විවිධත්වයක් සහිත සින්තෝම ඇති කිරීමත් බවට පත්වේ. එවිට එකී පුද්ගලයා දැඩි ප්‍රමෝදයක (වෙහෙසකර, වේදනාකාරී, දරාගත නොහැකි සංතෘෂ්ටියක්) පසු වන්නේ ධනවාදය විසින් සංස්ථාපනය කරනා මෙම තත්වය පවත්වාගෙන යාම සඳහාය. එපමණක් නොව ඔහුගේ දූ දරුවන් ඒ සඳහා යොමු කිරීම සඳහා දැඩි ලෙස වෙහෙසීම ඔහුගේ ප්‍රධානතම කාර්ය බවට පත්ව ඇත. එය ප්‍රශ්න කරන්නන් පිස්සන් ලෙස දැකීම, ඒ දෙස සෝපාහසයෙන් බැලීම, මගහැරයාම සහ කෝපාවිෂ්ට වීම අද දවසේ පුරවැසියාගේ තත්වයයි. දැන් කෙනෙකුට ප්‍රශ්න කල හැක්කේ මිනිසුන් මේ තත්වයට කැමති නම් එය ප්‍රශ්න කිරීම, ඊට එරෙහි වීම කල යුත්තේ ඇයි ද යන්නයි. එම ප්‍රශ්නයට මෙම ලිපිය තුලින් පිළිතුරු නොදී ඉතුරු කරන්නෙමු.
මේ අනුව සින්තෝමය විශ්ලේෂණයෙන් ඔබ්බට වන හැඟවීමේ සූත්‍රගත කිරීමක් නම් කරන අතර, එය සංකේතීය සමර්ථය වෙතට ප්‍රතිශක්ත ප්‍රමෝදයේ මදයකි. යම් විශ්ලේෂණාත්මක “විසුරුවීමක්” ඉල්ලා සිටීම වෙනුවට, සින්තෝමය යනු ප්‍රමෝදයේ අනූපම සංවිධානය වීමක් සැලසීමෙන් “යමෙකුට ජීවත් වීමට ඉඩ සලසන දෙයයි”. ඒ අනුව සින්තෝමයෙහි සත්‍ය තත්ත්වය විශ්ලේෂණය කළ නොහැකිය.
‘වහලා’,සහ මාක්ස්ගේ ‘නිර්ධනයා’ යන හඳුනාගැනීම් වල ස්වභාවය බොහෝ දුරට මෙම ඉහත විස්තර කල තත්වයට සමාන වේ. නමුත් වහලාට සහ නිර්ධනයාට තිබූ එකම දෙය තම ශ්‍රමය වැගිරීම පමණි. එහෙත් වර්තමානයේ එම නිර්ධනයා නොමැති අතර වර්තමාන පුරවැසියා හට ධනවාදය විසින් බොහෝ දේවල් ප්‍රධානය කොට තිබේ. නමුත් නව “නිර්ධනීකරණයක්” සඳහා අවස්තාව ඇත්තේ ද මෙම ස්ථානයේමය.
ජ.වි.පෙ. වෙත ගොඩනැගී ඇති වර්තමාන රැල්ලට ප්‍රධාන හේතුව වූයේ මැයි 9 සිදු වූ ප්‍රභූන්ට එරෙහි දැවැන්ත ප්‍රහාරයයි. ප්‍රහාරයට ආසන්නතම හේතුව ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කල ප්‍රහාරය වුව ද ගෝල්ෆේස් අරගලය සහ ප්‍රභූ විරෝධී ප්‍රහාරය යන දෙක අතර පැහැදිලි වෙනසක් පැවතුනි (මේ පිළිබඳව මීට පෙර විස්තරාත්මකව ලියා ඇත). මැයි 9 ප්‍රභූ විරෝධී ප්‍රචණ්ඩ රැල්ල (පාර්ලිමේන්තුව සහ ජනාධිපති මන්දිරය අල්ලා ගැනීම දක්වා වන ඉදිරි පියවරයන්ට පැමිණියේ මැයි 9 ප්‍රහාරය මිස ගෝල්ෆේස් අරගලය නොවේ) විසින් ඇති කල ප්‍රභූ විරෝධී තත්වය (උදාහරණයකට පොහොට්ටුවන් හට ගම් වලට යන විට හූ කියන, ගල් ගසන තත්වයක් යුක්තිය මෙහෙයුම වැනි මෙහෙයුම් වලට පෙර දක්නට ලැබුණි) ප්‍රභූවරයාට ඇති බිය (ගරු සරු ඇති බව) නැති බව බොහෝ දුරට තුරන් කිරීමට රනිල් සමත් විය. එසේම 2020 ආරම්භ වූ කොරෝනා වසංගතය, ඉන් පසුව පැමිණි ආර්ථික අර්බුධය, ඒ හේතුවෙන් ඇති වූ අරගල වැනි තත්වයන් හේතුවෙන් අනුග්‍රාහක දේශපාලනය සහමුලින්ම බිඳ වැටුණි. මේ තත්වය සාම්ප්‍රදායික ප්‍රභූවරයා වෙතින් සිංහල සමාජයේ මිනිසුන් බොහෝ දුරට ඈත් කිරීමට හේතු විය. එසේම පලාත්පාලන ආයතන නියෝජිතයින් අකර්මන්‍ය වීම තවත් ප්‍රධාන හේතුවකි. අනුර කුමාරම පවසන පරිදි, ඔහු බලාපොරොත්තු වී ඇත්තේ, ඔහු මිය යනුයේ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා ප්‍රයත්නයක් දැරූ මිනිසෙකු ලෙස වුවත්, මේ වන විට එම සමාජය ගොඩනැගීම සාක්ෂාත් කර ගැනීම සඳහා අවස්තාව උදා වී ඇති බවත්ය. එනම්, මේ තත්වය අනුර සහ පක්ෂය බලාපොරොත්තු නොවූ තත්වයකි. ඒ අනුව ජවිපෙ වෙත ගොඩනැගී ඇති මෙම පක්ෂපාතීත්වය අතිශය සුවිශේෂී තත්වයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ද්විපක්ෂ යාන්ත්‍රනය බිඳ වැටීම හේතුවෙනි. එය සිදුවූයේ කිසියම් දේශපාලන බලවේගයක මැදිහත්වීම මත නොවීම අනෙක් සුවිශේෂත්වයයි. එනම්, මෙම තත්වය ඇති වූයේ ධනවාදයේම ප්‍රතිවිරෝධතා උත්සන්න වීම තුලය. ගෝල්ෆේස් අරගලය එම උත්සන්න වීමේ ප්‍රකාශනයයි. ගෝල්ෆේස් අරගලයට අප පක්ෂපාති නොවූව ද අප එයට එරෙහි වූයේ නැත. අපට ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් පැවතියේ විවේචනාත්මක කැමැත්තකි. ඒ ඕනෑම අකාරයකින් අර්බුධකරීත්වයක් ඇති වීම නව දේශපාලන චලනයකට හේතු වන බැවිනි. 2022 මැයි 9 වෙනිදා එම දේශපාලන චලනයේ උපරිමය සලකුණු විය. එදින ඇති වූ දැවැන්ත ප්‍රභූ විරෝධී ප්‍රහාරය ඇතිවීමට ආසන්නතම හේතුව ගෝල්ෆේස් අරගලයට පහරදීම වුව ද ගෝල්ෆේස් අරගලය සහ මැයි 9 ප්‍රභූ විරෝධී ප්‍රහාරය සාමන කොට සැලකිය නොහැක. ගෝල්ෆේස් අරගලයට පක්ෂපාති නොවුව ද ප්‍රභූ විරෝධී අරගලයට අප පක්ෂපාති වූයේ එබැවිනි.
ගෝල්ෆේස් අරගලය සහ මැයි 9 සිදුවීමට අදාළ අපගේ විශ්ලේෂණය:
පාර්ලිමේන්තුව සහ ජනාධිපති මන්දිරය අල්ලාගැනීම දක්වා දුරදිග යන්නේ මැයි 9 ප්‍රහාරය තුලින් ඇති වූ තත්වයයි.
ජ.වි.පෙ.ට මෙම අවස්තාව උදා වී ඇත්තේ එකී දේශපාලන චලනයේ ප්‍රථිපලයක් ලෙසය. ලාංකීය සමාජයේ අනීවාර්ය ඊළඟ දේශපාලන චලනය ඇතිවීමට නම් මෙවර ජා.ජ.බ. බලයට පත්විය යුතුය. එම අර්ථයෙන් සලකන කල මේ අවස්තාව නැවත නොපැමිණෙන මහඟු අවස්තාවක් ලෙස සැලකිය හැකිය.
මෙතෙක් රටේ රාජ්‍ය බලය හෙබ වූ ප්‍රභූ තන්ත්‍රය තුලින් නියෝජනය වූයේ රටේ ව්‍යාපාරික ප්‍රජාවයි (ලොව පුරාම තත්වය එයයි). ද්වි පක්ෂ යාන්ත්‍රනය තුල ඔවුන් නඩත්තු වන්නේ ව්‍යාපාරිකයින්ගේ නියෝජිතයින් ලෙසය. මැතිවරණ වලදී ඔවුනගේ වියදම් සියල්ල මෙහෙයවනු ලබන්නේ එම නියෝජිතයාට අදාළ ව්‍යපරිකයින් වන විට අදාළ පක්ෂය සඳහා සමස්ත වියදමට අදාළ ව්‍යාපාරික එකමුත්වක් තිබේ. ඉන් පසුව රටේ සමාජ-ආර්ථික දිශානතිය තීරණය වන්නේ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය පරිදිය. ප්‍රභූ දේශපාලනයට අදාලව ලොව පුරාම තත්වය ද එයයි (ඉලෝන් මස්ක් වැනි තනි පුද්ගලයෙකුට මුළු ලෝකය පිළිබඳවම තීන්දු තීරණ ගත හැකි වන්නේද එබැවිනි). එවිට පක්ෂ ලෙස සැලකෙනුයේ සුවිශේෂී, ගරු කටයුතු ලෙස සැලකෙන තනි පුද්ගලයින්ගෙන් සමන්විත කණ්ඩායමකි. ඔවුනට කිසිඳු ප්‍රකාශ කල හැකි දේශපාලන ස්ථාවරයක් නොමැති අතර නිරන්තරයෙන් ප්‍රකාශ වන්නේ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය, රට, සංස්කෘතිය වැනි වචන කිහිපයකි. මේ අකාරයේ සෑම දේශපාලනඥයෙකුටම පාහේ මැරවරයින් නඩත්තු කිරීමට සිදුව තිබේ.
‘පාතාලය’ යනු එහි මූලක්රුතිමය අර්ථයෙන්ම දේශපාලනය, පොලීසිය හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ මැර කල්ලි අතර සම්බන්ධයි. එම ත්‍රිත්වයේ අනොන්‍ය සුසංයෝගය නොමැතිව පාතාලයක් නොපවතී. 1977න් පසුව මෙම තත්වය වර්ධන වී මේ වන විට එහි උපරිමය සලකුණු වී ඇත. සමාජයේ සිදුවන කිසියම් අවකල් ක්‍රියාවකට එරෙහි වීම කල නොහැක්කක් බවට පත්ව ඇත්තේ එසේ එරෙහි වුවහොත් ඊට පාතාලය මැදිහත් වන බැවිනි. එසේම පුද්ගල දේපල පිලිබඳ ප්‍රශ්න වල දී, ව්‍යාපාර සිදු කිරීමේ දී, පාතාලයේ මැදිහත් වීම බලාපොරොත්තු විය හැකි තත්වයක් බවට පත්ව ඇත. රටේ බොහෝ සාමාන්‍ය ව්‍යාපාරිකයින් කප්පම් ගෙවීම සිදු කරනුයේ රජයට බදු ගෙවන්නාක් මෙනි.
ජවිපෙ පක්ෂයක් ලෙස සැලකීමේදී ප්‍රභූ දේශපාලන පක්ෂ වෙතින් සහමුලින්ම වෙනස් ලෙස සැලකිය හැකිය. එහි ආරම්භයේ සිට 2005 වර්ෂය පමණ දක්වා එහි පූර්නකාලීනයින් නඩත්තු වූයේ මුට්ටිකාසි සහ වෙනත් ආකාර වලින් එකතු කරගන්නා මුදල් වලින්, විදේශගතව සිටින පක්ෂ සාමාජිකයින් විසින් එවන මුදලින්, සහ වෘත්තිය සමිති වල සාමාජික මුදල් වලිනි. 2005න් පසුව තත්වය ක්‍රමයෙන් වෙනස් වුව ද එම පක්ෂ යාන්ත්‍රනය තවමත් ව්‍යාපාරික ප්‍රජාවට යට වී නොමැත. පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය ගතහොත් එහි අති බහුතරය මැතිවරණ වලට තරඟ කරන අය නොවේ. එසේම දිස්ත්‍රික් නායකයා (දිස්ත්‍රික් ලේකම්) ද මැතිවරණ වලට තරඟ නොකරන අතර දිස්ත්‍රික් සංවිධායක සහ ආසන සංවිධායකවරුන් වෙනම සිටී (ඔවුන් ද මැතිවරණ වලට තරඟ නොකරයි). පුද්ගල සුවිශේෂීතාවයයට අදාළ ලිබරල් දේශපාලනය වෙනුවට සාමුහික ප්‍රයත්නයක් පිළිබඳව විශ්වාසය තැබීම සහ දැවැන්ත නායයාම් තිබියදී පවා එය ආරක්ෂා කර ගැනීමට වෙර දරන සංවිධානයක් වීම අනෙක් සුවිශේෂී කාරණයයි (ටිල්වින් සිල්වා පසුගිය දිනක ප්‍රකාශ කලේ, අනුර ජනාධිපති වුව ද රටේ පාලනය ගෙනයනුයේ පක්ෂය විසින් පත්කරන කමිටුවකින් බවයි. එය අනුර ද දන්නා බව ඔහු විසින් දැඩිව අවධාරණය කරනු ලැබීය). මේ කරුණු හැරුණකොට ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් වෙනස් වන තවත් සුවිශේෂතා රාශියක් ඇත.
ජා.ජ.බ. ජනාධිපතිවරණයට තරඟ කරනුයේ සියලු රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා, පුවත්පත් ඇතුළු අනෙකුත් බහුතර ජන මාධ්‍ය ඔවුනට දැඩිව එරෙහි තත්වයක් යටතේය.
තත්වය එසේ තිබියදී, ජා.ජ.බ.ට එරෙහි මුලින් සඳහන් කල ප්‍රවර්ග හතරටම ඒ කිසිවක් අදාළ නොවේ. එසේම ඡන්දය ලබා දෙන බහුතරයේ අවශ්‍යතාවය වී ඇත්තේ අති විශාල භාණ්ඩ සහ සේවා පාරිභෝජනයක් සහතික කර කරගැනීමයි. නමුත් බලය ලබා ගන්නා ජවිපෙට මෙය කිසි ලෙසකින් ඉටු කල නොහැකි වේ. එසේම ඔවුනට දැඩි පීඩනයට පත්ව සිටින දිළිඳු ජනතාව මගහැරිය නොහැකිය. එසේ නොකළ යුතු බවට පක්ෂ අභ්‍යන්තරය තුලින් බලපෑම් එල්ලවනු ඇත. නව ප්‍රතිවිරෝධතා හටගැනීමට නියමිතව ඇත්තේ මේ තත්වය තුලයි. එම ප්‍රතිවිරෝධතා විසින් නව දේශපාලන චලනයකට මග පාදනු ඇත.
පැරණි වාමාංශික පක්ෂයක් ලෙස පැහැදිලි දෘෂ්ටිවාදයක් නඩත්තු කල ද ජවිපෙ යනු විමුක්ති දේශපාලන වාමාංශික උරුමයක් දරා ගත් පක්ෂයකි. වාමංශයේ දෘෂ්ටිවාදී ස්ථාවරයට (වාස්තවික යථාර්තය පිළිගැනීම) අප එරෙහි වුව ද එම ව්‍යාපාරයේ දේශපාලනික ගුණයන් සහ මෙතෙක් රැකගෙන ආ විමුක්තියට අදාළ ගුණයන් අප ප්‍රතික්ෂේප නොකරන්නෙමු. විමුක්ති දේශපාලනයේ මූලික දේශපාලන ස්ථාවරය විය යුත්තේ ගෝලීය ලිබරල් ධනවාදය වෙතට විකල්පක් හෝ විකල්ප යෝජනා කිරීමට එරෙහි වීමයි. නමුත් එවැනි මහා විකල්පයක් (සමාජවාදය, නාසිවාදය වැනි…) හෝ ගෝලීය ලිබරල් ධනවාදයට විකල්ප යෝජනා නොකරමින් ධනවාදයේ ඇති රුදුරු, කෘර, අසහනකාරී, අවිවේකි, කාංසා සහිත, මිනිසුන්ට ජීවත්වීමට අහිතකර පාරිසරික තත්වයන් කොල්ලකාරී, ස්වභාවයන් තීර්ව නොකරන, ඒවා යම් පමණකට හෝ වලකා ගත හැකි, සහනාදයි පියවර අනුගමනය කරනා, බලයට පැමිණිය හැකි දේශපාලන ව්‍යපෘති වලට ඇති කැමැත්ත පවත්වා ගැනීම සහ ඒ දෙසට ඒවා වඩ වඩාත් තල්ලු කිරීම ද විමුක්ති දේශපාලන ව්‍යාපාරයක අනීවාර්ය දේශපාලන කොන්දේසියකි. නමුත් එවැනි දේශපාලන පක්ෂපාති වීමක් හෝ ක්‍රියාකාරීත්වයක් යනු කිසි ලෙසකින් විකල්ප වලට පක්ෂපාත වීමක් හෝ විකල්ප පිළිගැනීමක් නොවේ. ඒ එවැනි ක්‍රියාකාරීත්වයක් යනු විකල්ප ඉදිරිපත්කිරීමක් නොවන බැවිනි. එනම්, විනාශයෙන්, අසහනකාරීත්වයෙන්, පීඩනයෙන්, විඳවීමෙන් ගැලවීමේ දිශානතිය යනු ඉහත සඳහන් කල මහා විකල්ප අර්ථයෙන් (දෘෂ්ටිවාදී) විකල්ප නොවේ. නමුත් ප්‍රශ්නය වන්නේ පවතින අධ්‍යතන වාමාංශයට එවැනි වැඩපිළිවෙලක් තියා විකල්ප හෝ නොමැති වීමයි. ඔවුන්ගේ එකම අභිලාශය ධනවාදයේ තර්කනය තුලම ජනතාවාදී වී බලය තහවරු කොට ගැනීමයි. ඒ අනුව විමුක්ති දේශපාලනයට අදාළව සියල්ලටම වඩා ප්‍රමුඛ කාරණය වී ඇත්තේ ආර්ථිකය නැවත දේශපාලනීකරණය කිරීමේ හදිසි අවශ්‍යතාවය සහ රැඩිකල් දේශපාලන චින්තනයේ සහ ක්‍රියාවේ හැකියාව පිලිබඳ ප්‍රශ්නය මතු කිරීමයි. ඒ, මේ වන විට අදේශපාලනික වී ඇති විමුක්ති දේශපාලනයට අදාළ වන්නේ එම මුඛ්‍ය කාරනා බැවින්ය. එහිදී මූලධර්මවාදයන් සහ ‘දේශපාලනිකව නිවැරදි’ (‘politically correctness’) බහු සංස්කෘතිකවාදය ධනවාදයට විරුද්ධවාදී ලෙස නොව පශ්චාත්-නූතන සමාජවල ‘දේශපාලනයට’ සහසම්බන්ධයක් ලෙස ( ධනවාදයම තහවරු කරන) සැලකිය යුතුය.
මනෝවිශ්ලේෂණය යෝජනා කර සිටිනුයේ සැබෑ විමුක්තිය සඳහා යථාර්ථයේ හිඩැස් සහ ප්‍රතිවිරෝධතා අතරින් යාත්‍රා කිරීමට අවශ්‍ය බවයි. විමුක්ති දේශපාලනය විසින් සංකේතීය (සමාජ සම්මතයන්/ප්‍රතිමාන සහ නීති) සීමාවන් සහ මුලාවන්/මිත්‍යාවන් හඳුනාගත යුතු අතර යථෙහි (නියෝජනය කළ නොහැකි හෝ ක්ෂිතිමය) කඩාකප්පල්කාරී බලවේගයට මුහුණ දිය යුතුය. නමුත් අධ්‍යතන ලෝක රටාව තුල බලයේ සිටින සියලු දේශපාලන බලවේග නිමග්නව ඇත්තේ ‘යථෙහි ප්‍රතීඝතා’ (antagonism in the Real) වසන් කරන දෘෂ්ටිවාදී ක්‍රියාකරීත්වයකය. වාමාංශය විසින් ද එය භාරගෙන ඇත. ඒ වෙනුවට සැබෑ විමුක්ති දේශපාලනයේ කාර්ය විය යුත්තේ යථෙහි ප්‍රතීඝතා නිරාවරණය කරමින් ඒ තුල මිඩංගු වීමයි. ජවිපෙ බලයට පැමිණීම තුල මේ සඳහා මෙතෙක් නොතිබූ නව අකාරයේ හිඩැස් විවර වීමට නියමිතය. උදාහරණයක් ලෙස ලංකාව සුරපුරයක් නොවන්නේ සොරකම්, වංචා, දූෂණ, අල්ලස්, අකාර්යශ්‍යමතාවය, වැනි කාරනා නිසා බවට සංස්ථාපිත කතිකාව සුනු විසුනු වී යාමට නියමිතය.
ඉහතදී ද විස්තර කර ඇති පරිදි ආශාව ව්‍යුහගත වන්නේ ‘අනෙකා’ (‘Other’ – සමාජය සහ එහි සංකේත රටාව) මගින් බව මනොවිශ්ලේෂණයේ ස්ථාවරයයි. ඒ අනුව අධිනිශ්චිත-ආධිපත්‍යික දෘෂ්ටිවාදී ව්‍යුහයන් විපර්යාස කරන, පුද්ගලයින් හට ඔවුනගේ නියෝජිතභාවය නැවත ලබාගැනීමට ඒ තුලින් ඉඩ සලසන, ආශාවේ වින්‍යාසය නැවත සකස් කිරීමක් (ප්‍රතිනිර්මාණය) සමග විමුක්තිය වේලි පැවතිය හැකිය. ජ.වි.පෙ. බලය ලබාගැනීමෙන් පසු යම් අකාරයකට මේ කාර්ය සඳහා යම් හැකියාවක් විවර වනු ඇත. ඒ සඳහා අවශ්‍ය කතිකාවක් ගොඩනැගිය හැකි යම් ශක්තිමත් ව්‍යාපාරයකට මෙම දිශාවට ජ.වි.පෙ. තල්ලු කිරීම සඳහා විශාල කාර්යක් කල හැකිය. ඒ තුලින් ලංකාව තුල දැඩිව ගොඩනැගී ඇති ධනවාදී කතිකාවට යම් බලපෑමක් කල හැකි වනු ඇත.
ධනවාදයේ විවිධ වෙලඳපොලවල් සහ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම තනි තනි සින්තෝමයන් සඳහා සහය දැක්වීමේ අදහස සමග සමපාත වේ. ධනවාදය යටතේ ලබා ගත හැකි පාරිභෝගික භාණ්ඩ සහ සේවා විශාල පරාසයක් මිනිසුන්ට ඔවුන්ගේ අනූපම/අද්විතීය රසවින්දනය සහ ආත්මීය අනුකූලතාව ප්‍රකාශ කිරීමට සහ පවත්වා ගැනීමට මාර්ග සපයයි. මෙම වෙළඳපල ගතිකත්වය සහ පාරිභෝගික අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් නව භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ නව්‍යකරණය කිරීමේ ධනේශ්වර අවශ්‍යතාවය සමඟ සින්තෝමය සමපාත වේ. මෙම නිදහස තිබියදීත්, ධනවාදය තුළ නියාමන සීමාවන් ඇත. ඒ විශේෂයෙන් දාම ඝාතකයන්ගේ ක්‍රියා වැනි ධනවාදය සඳහා “විනාශකාරී” හෝ “හානිකර” ලෙස ධනවාදය විසින් සලකන ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි. ධනවාදය විවිධ ආශාවන් ඉටු කර ගැනීම සඳහා නිෂ්පාදන සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීම ප්‍රවර්ධනය කරන අතරම, එය පිළිවෙලක් පවත්වා ගැනීමට සහ පද්ධතිය අස්ථාවර කළ හැකි ක්‍රියාකාරකම් වැළැක්වීමට නීතිමය හා සමාජීය සීමාවන් ද පනවා ඇත. රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වූයේ මේ අකාරයේ වෙළඳපොළක් සහ සමාජයක් සංස්ථාපනය කිරීමට වන අතර ඔහු සැම විටම අසාර්ථක වූයේ එය ඉටු කරගත නොහැකි බැවිනි. ඔහුට අනුව එම නොහැකියාව යනු අවශ්‍ය ආර්ථික, ව්‍යවස්ථාමය, නීතිමය, සමාජයමය සහ දෘෂ්ටිවාදී ප්‍රතිසංස්කරණ වලට ඉඩ නොදීම හේතුවෙන් ඇති වන අසමත්භාවයකි. නමුත් සත්තකින්ම එය සේ නොවේ (ඒ පිළිබඳව මීට ඉහත ලිපි වල කරුණු දක්වා ඇත). නමුත් ජ.වි.පෙ. ආණ්ඩුවක් යටතේ රනිල්ගේ එම ස්ථාවරයන් කිසි ලෙසකින් ප්‍රකාශ නොවනු ඇත. එබැවින් එය නැවතත් නව දේශපාලන චලනයක ඉඩ සලසන ස්ථානයක් වීම නොවැලැක්විය හැකිය.
සින්තෝමය පිළිබඳව මේ තත්වය පිළිගත හැකි නම්, එය මේ අකාරයෙන් තහවුරු වීමට එරෙහි නම් ජ.වි.පෙ.ට එරෙහි වීම මේ මොහොතේ වඩාත්ම අදේශපාලනික ක්‍රියාවයි. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ ජ.වි.පෙ. බලයට පැමිණිය ද සිදු කරනුයේ ධනවාදයම ඉදිරියට ගෙන යාම බවය. ඔව්, එය එසේය. සත්තකින්ම ජවිපෙට ද වෙන කල හැකි දෙයක් නොමැත. නමුත් ඉහත සිදු කල විශ්ලේෂණය තුල පෙන්වා දුන් පරිදි මෙතෙක් පැවති දේශපාලන පක්ෂ තුල නොමැති සුවිශේෂතා එය සතුතය. අවශ්‍ය වන්නේ ධනවාදී කතිකාවට එරෙහි වීමයි. එය සිදු කිරීමට ජ.වි.පෙ. අසමත්ය. නමුත් ඒ අවශ්‍යතාවය සඳහා ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුව ඇත. එම ව්‍යාපාරය සඳහා වඩාත්ම යෝග්‍ය තෝතැන්න සකස් කර දෙනුයේ ජ.වි.පෙ. බලයට පැමිණීම විසිනි.