ස්පාටකස් සාමුහිකය සහ ධනුෂ පතිරණ අතර පැවති සංවාදය (2024.12.07)

විමුක්ති දේශපාලනය සඳහා දේශපාලනය සඳහා පවතින්නේ ස්ථාවර දෙකක් පමණි. 
එනම්:
1. මනුෂ්‍යයා වෙතින් මනුෂ්‍යයාම ඇතුළු අනෙකුත් සතුන් ඇතුළු සමස්ත පරිසරය වෙත විනාශකාරී, අහිතකර ලෙස බලපෑම් සහගත වීම, පරාරෝපනය වීම, ස්වභාවික බව පිළිගැනීම. එනම්, ලෝක ස්වභාවය එය බව පිළිගැනීම.
 
2. මනුෂ්‍යායා වෙතින් මනුෂ්‍යයාම පරාරෝපනය, අනෙකුත් සතුන් ඇතුළු සමස්ත පරිසරය වෙත විනාශකාරී, අහිතකර ලෙස බලපෑම් සහගත වීම, පරාරෝපනය වීම, මිනිස් සමාජයේ පවතින පන්ති ස්වභාවයේ ප්‍රශ්නයක් ලෙස පිළිගැනීම සහ පන්ති ස්වභාවය ස්වභාවික නොවන බව පිළිගැනීම.  
විමුක්ති දේශපාලනය සඳහා මෙම ස්ථාවර දෙක හැර වෙනත් හෝ අතරමැද ස්ථාවරයන් නොමැත. අනෙක් ඕනෑම ස්ථාවරයක් මේ දෙකෙන් එකකට අයත් වේ.
ඉහත පළමු කාරනය පිළිගන්නේ නම් කල යුතුව ඇත්තේ විද්‍යාවට සියල්ල භාරදීම සඳහා අවශ්‍ය මාවතට ප්‍රවිෂ්ට වීම සහ ඒ සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයයි. එම පළමු කරුණ පිළිනොගන්නේ නම් ඊට එරෙහිව පවතින්නේ ඉහත සඳහන් කොට ඇති දෙවන ස්ථාවරය පමණි. අතර මැද හෝ වෙනත් ඕනෑම ස්ථාවරයක් නැවතත් ඉහත පළමු ස්ථාවරය තුලම ලැගුම් ගැනීමට නියමිතය. ඉහත දෙවන ස්ථාවරයේ පන්තිය යන්න අර්ථවත් වන්නේ සාම්ප්‍රදායික ආර්ථික පන්ති භේදය තුල පමණක් නොවේ. මේ වන විට එය ආර්ථික වෙනස අභිබවමින් දැනුමට අදාලව සංකීර්ණතා රැසක් සහිත පන්ති භේදයක් බවට පත්ව ඇත. ඒ අනුව නව නිර්ධනීකරණයක් අවශ්‍යව ඇත. ඒ විමුක්ති දේශපාලනය අනීවාර්ය ලෙසම පන්ති අරගලය තුල සහ දෘෂ්ටිවාදය විචාරය කිරීම මත ස්ථානගතවන බැවිනි.
මාක්ස්ගේ වඩාත්ම වරදවා වටහාගත් සංකල්පවලින් එකක් වන්නේ පන්ති අරගලයයි. මාක්ස්  ‘Grundrisse’ කෘතියෙහි පවසන්නේ පූර්වයක් ලෙස පන්තියක් ඇත්තේ ධනේශ්වර පන්තිය පමණය යන්නයි. පන්ති අරගලය අහෝසි කිරීමේ අදහසින් නිර්ධනයා හට සමාජ පන්තියක් ලෙස පමණක් ආලෝකයට පැමිණිය හැකියි…  ඒ නිසා අවධාරණය කල යුතුම කාරණය වන්නේ පවතින්නේ ධනේශ්වර පන්තිය පමණක් බවය. එය අප තේරුම් නොගන්නා තාක් කල් පන්ති අරගලය අහෝසි කිරීමේ ප්‍රවේශය ලබාගත නොහැක. පන්ති අරගලය යනු පන්ති අරගලයම අහෝසි කිරීම සඳහා වන අවශ්‍යතාවයයි. එනම්, පන්ති අරගලය අවශ්‍යව ඇත්තේ අධිකාරීත්වයට එරෙහි වීම සහ පරරෝපනයෙන් මිදීම සඳහාය.

ධනවාදය තුල මනුෂ්‍යයා කෙතරම් පරාරෝපනයට ලක් වුවත්, එම අර්ථයන් තුල සම්පූර්ණ විය නොහැකි, අර්ථවත් විය නොහැකි, යථමයත්වයක් තිබේ. ඒ රෝග ලක්ෂණයක් ලෙස ඉස්මතුවන නිර්ධනයාය. නිර්ධනයා යනු ධනවාදයේ රෝග ලක්ෂනයයි (මාක්ස්ගේ අර්ථය තුල). එනම්, එහි අර්ථයන්ට බාධා පමුණුවන, අර්ථයකට ගෙන ආ නොහැකි, කොස්ස නිර්ධනයාය. නමුත් මාක්ස්ගේ අර්ථයෙන් එවැනි නිර්ධනයෙකු අද නොමැත.

නමුත් සංකේතනයෙන්, භාෂාවෙන් හෝ දෘෂ්ටිවාදයෙන් සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීමට හෝ නිරූපණය කිරීමට නොහැකි රෝග ලක්ෂණ ලෙස ඉස්මතුවන යථමය තත්වයන් මාක්ස්ගේ අවධියේ තිබූ අකාරයන්ට වඩා වෙනස්ව සහ සහ දරුණු ලෙස බහුමය ස්වරූප වලින් අධ්‍යතන සමාජය තුල ඉස්මතු වේ (දෘෂ්ටිවාදී දහරාවන් පන්ති අරගලය වසන් කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා උත්සාහ කරන විට පවා, එහි ප්‍රතිවිපාක – අසමානතාවය, සූරාකෑම සහ අර්බුදය – සෑම විටම ක්ෂිතිමය බාධාවන් ලෙස ආපසු පැමිණේඋදා: පාරිසරික අර්බුධ, මානසික රෝග/ශාරීරික රෝග, වෛරස, ආර්ථික බිඳවැටීම්, විරෝධතා, විප්ලව, ජාතික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, යුද්ධ… වැනි ලෙස). යථ සැමවිටම ක්ෂිතිමය, කඩාකප්පල්කාරී සහ මූලික වශයෙන් මානව අත්දැකීමට සම්පුර්ණයෙන්ම ඒකාබද්ධ කල “නොහැකි” ය. එනම්, අශක්‍යතාවයකි (impossibility). එය දැනෙනුයේ මිනිස් ගතට සහ සිතටයි (විඳවීම).

මෙම විඳවීමෙන් ගැලවීමේ මග ලෙස නූතන මනුෂ්‍යයා තෝරාගෙන ඇත්තේ විද්‍යාව සහ තාක්ෂනය තුලින් පැමිණෙන නිෂ්පාදන-පරිභෝජන වෙළඳපොල සහ දැනුම නිෂ්පාදනය සහ නිෂ්පාදිත දැනුම හඹා යාමයි (සැම විටම පුරවැසියා හට අවිඥානික වන්නේ ධනපති පන්තියයි). එම තත්වය විසින් දිගින් දිගටම දයලෙක්තිකව පවතින තත්වය උග්‍ර කරයි. අද දවසේ පන්ති අරගලය පවතින්නේ ඒ තුලය. එබැවින් අපට පැවසිය හැක්කේ පන්ති අරගලය යනු සමාජය තුල යථ බවයි. ඒ අනුව, නැවතත් පැවසිය හැක්කේ එය කිසිදු දෘෂ්ටිවාදයකට, දේශපාලන පද්ධතියකට හෝ සංස්කෘතික රාමුවකට සම්පූර්ණයෙන් විසඳා ගැනීමට හෝ මර්දනය කිරීමට නොහැකි ප්‍රතිවිරෝධය බවයි. මාක්ස්ගේ සමයේ පැවතියේ පන්ති අරගලයේ සරල ස්වරූපයක් නම් අද එය ඉතාම සංකීර්ණ අකාරයෙන් උග්‍ර වී ඇත.

ඉහත අර්ථයෙන් පන්ති අරගලය යන්න යථමය වේ. එසේම පන්තිය යන්න සඳහා නව අර්ථකතනයක් අවශ්‍යව ඇත. මාක්ස් ජීවත්ව සිටි සමයේ මාක්ස් විසින් අර්ථවත් කල නිර්ධනයා හට කිසිසේත්ම තම පන්තිය අභිබැවිය හැකි බවට අපේක්ෂාවක් හෝ තබා ගත නොහැකි විය. එනම්, ඔහුගේ දරු මුනපුරන්ට හෝ තමන්ට අදාළ ආර්ථිකමය පන්තියෙන් පිටමන්ව ඊට ඉහල පන්තිමය තත්වයකට යාම පිළිබඳව ඔහුට අපේක්ෂාවක් තබා ගැනීමේ තත්වයක් නොතිබුනි. නමුත්, අද තත්වය එසේ නොවේ. සමාජයේ ඕනෑම අයෙකුට තමන් දැනට සිටිනා පන්ති තත්වයෙන් ඉහලට යාමේ අපේක්ෂාව සැම විටම දැල්වෙමින් පවතී. තමන්ට අත්පත්කොට ගත නොහැකි තත්වයක් තම දරුවන් හට අත්පත් කොට දීම සෑම දෙමාපිය යුවලකගේම අපේක්ෂාව වී ඇත. ඔවුන් අරගල කරනුයේ, දැඩි ලෙස වෙහෙසෙනුයේ දැනට තමන් සිටින තත්වයෙන් ඊළඟ පඩියට නගින අතරතුර තම දරුවන් කෙසේ හෝ තමන් සිටි තත්වයට වඩා ඉහල තත්වයකට ඔසවා තැබීමටයි (මෙම තත්වයන් යනු ධනවාදී සමාජය විසින් නිර්මාණය කොට ඇති දැනුම, ආධිපත්‍ය, භාණ්ඩ හා සේවා වෙළඳපොල සහ දේපල පිළිබඳව සම්බන්ධයකි. අනෙකුත් සියලු මිනිස් සම්බඳතා තීරණය වන්නේ ඒවාට අදාළ ව්‍යුහාත්මක සම්බන්ධය තුල පමණි). මූලික වශයෙන්ම අධ්‍යාපනය තුලින්, ව්‍යාපාර සිදු කිරීමෙන්, විදෙස් ගතවීමෙන්, නීති විරෝධී කටයුතු කිරීමෙන්, වැනි ඕනෑම ආකාරයකින් තම පන්තිය වෙනස්කොට ගත හැකි අවස්තාව නිදහස්-ප්‍රජාතන්ත්‍රවාදය තුල සංස්ථාපනය වී ඇත. අධ්‍යතන පන්ති අරගලයේ ස්වරූපය එයයි. අද සියලු දෙනා දැඩි ලෙස වෙහෙසෙමින්, ශාරීරිකව සහ මානසිකව යන දෙයාකාරයෙන්ම රෝගාතුර වෙමින් (යථ), මිනිස් සබඳකම් වලින් තොරවෙමින්, පරිසරය ද වනසමින්, “පන්ති අරගලයේ” යෙදී සිටී. ධනවාදය තුල අධ්‍යතන පන්ති අරගලය යනු බුර්ෂුවා අර්ථ හඹා ගොස් (පවතින්නේ ධනපති පන්තිය පමණි) ඒවා අත්පත්කොට ගැනීම බවට පත්ව ඇත (මේ තත්වය දැරිය නොහැකි තරම් අසහනකාරීය. නමුත් ප්‍රමෝදය එයයි).
එබැවින් නැවතත් පැවසිය හැක්කේ, සැබවින්ම පවතින්නේ එක් පන්තියක් පමණිය යන්නයි. ඒ බුර්ෂුවා පන්තියයි. සමාජය ව්‍යුහගත කරන භාෂා පද්ධතිය සහ අර්ථ පද්ධතිය ලෙස ඇති සංකේත රටාව සාම්ප්‍රදායිකව තර්ක-බුද්ධිමත්භාවය, න්‍යාය සහ අධිකාරීත්වය වැනි පුරුෂරූපී ලක්ෂණ සමඟ සම්බන්ධිත වීම නිර්මාණය වන්නේ බුර්ෂුවා අර්ථ තුලිනි. එනම්, සමාජයේ සියලු දෙනාගේ ජීවිත අර්ථවත් වන්නේ ‘ධනවාදී කතිකාව’ තුලය. ඒ අනුව අප ධනවාදයට එරෙහි නම් අපගේ මූලික කාර්ය විය යුත්තේ ‘ධනවාදී කතිකාවෙන්’ ඉවත්වීමයි. එනම්, පවතින්නේ එක් පන්තියක් බව තීරුම්ගත යුතුව ඇත. ‘ධනවාදී කතිකාවෙන්’ ඉවත් වූ පමණින් ධනවාදයෙන් ඉවත් විය නොහැකි වන අතර ධනවාදයෙන් ඉවත්වීම සඳහා යයි පවසමින් වස විස නැති ගොවිතැන් කිරීම, අල්පේච්ඡතාවයන් වැළඳ ගැනීම, සැම එකාටත් එකා සැමටත් කියමින් ආගමික ප්‍රතිපදාවන් නඩත්තු කිරීම හෝ “counter culture” වැනි විගඩම් කිරීමට උත්සාහ කිරීම ඊට අදාළ ක්‍රියාවන් නොවේ (‘කතිකාව’ සහ ‘දෘෂ්ටිවාදය’ අතර වෙනස හඳුනා නොගත් අය). ධනවාදයට එරෙහිව ශක්තිමත්ව පහර දීමට නම් සියල්ලට ප්‍රථම එම කතිකාවෙන් ඉවත් වූ පිරිසක් එකමුතු විය යුතුය. එම කතිකාවෙන් ඉවත්විය හැක්කේ “විඳවීම” යන්න පිළිගත් අයට පමණි. මාක්ස් නිර්ධනයා යන්න අර්ථකථනය කරමින් පෙන්නුම් කල දෙය වූයේ ඔහුගේ “විඳවීමයි”. නමුත් අද දවසේ වාමාංශය විසින් එය ඇති නැති පරතරය ලෙස භාරගෙන නැති අයට ඇති කිරීමේ ප්‍රතිපත්තිය තුල ක්‍රියාත්මක වේ (ජවිපෙ සහ පෙසප යන පක්ෂ දෙකම ක්‍රියාත්මක වන්නේ ඒ තුලය). එබැවින් මාක්ස් සඳහන් කල විමුක්ති අරගලයේ නියෝජිතයා වන “නිර්ධනයා” යන්නෙහි සැබෑ අර්ථය වන “විඳවීම යන්න තුලින් නව නිර්ධනීකරණයක් අද දවසට අදාලව අවශ්‍යව ඇත.
 
ඒ අනුව, පළමු පියවර තැබීමට අවශ්‍යව ඇත. නමුත් වඳවීමේ තර්ජනයට ලක්ව නෂ්ටාවශේෂ බවට පත්ව ඉතුරුව ඇති වාමන්ශිකයින් බොහෝ දෙනෙකුට ද අවශ්‍යව ඇත්තේ මේ මොහොතේ දී, සිතීමට වඩා යම් ප්‍රයෝගිකවාදී (pragmatism) සහ ආර්ථිකවාදී දේශපාලනයක නිරත වීමයි. නමුත් මේ මොහොතේ අප අවධාරණය කරනුයේ “කිරීමට” වඩා “සිතීමේ” ප්‍රමුඛත්වයයි. ඒ නව නිර්ධනීකරණයක් වෙනුවෙනි.
ලකාන් විසින් අර්ථකථනයේ සත්‍යය ලෙස හැඳින්විය හැකි දේ පිළිබඳව කතා කරයි. ඔහු මෙසේ පවසයි: “ඔව් හෝ නැත යන්න මගින් තීරණය වන සත්‍යයක් මගින් අර්ථකථනය පරීක්ෂාවට ලක්නොවන අතර එය ඒ නිසාම සත්‍ය මුදාහරී. එය සත්‍යය වශයෙන් අනුගමනය කරන තරමට (තාක් දුරට) පමණක් එය සත්‍යය වේ.”න්‍යායේ සහ ව්‍යවහාරයේ දයලෙක්තික ඒකත්වය මෙය වේ. එනම්, විශ්ලේෂකයාගේ අර්ථ නිරූපණයේ ‘පරීක්‍ෂණය’ පවතින්නේ එය රෝගියා තුළ මුදා හරින සත්‍යය-බලපෑම තුළය (ප්‍රථිපල ලැබීම මත). ඒ අනුව අප ක්‍රියා කළ යුත්තේ ලෝකය වෙනස් කිරීම ඉලක්ක කරගන්නා ආකාරයකට නොවිය යුතුම වන්නේ ව්‍යවහාරයම යනු සංකල්පයේ මොහොතක් වන බැවිනි. එබැවින් ලැකාන්ගේ අර්ථ නිරූපන න්‍යායේ සත්‍ය-බලපෑම ලෝකය මතට අධිස්ථාපනය නොකරන (නොකළ යුතුය) නමුත් එයට එකතු කරනු ලබනවා සේම, ව්‍යවහාරයේ සහ න්‍යායේ ඒකත්වය ලෙස හේගල්ගේ සංකල්ප න්‍යාය තුල සංකල්පය පමණක් සත්‍ය ලෙස ලෝකයට එකතු කල හැකිය.
පරාවර්තක නොවන ව්‍යවහාරයන්ට දැනටමත් පවතින දේ හැසිරවිය නොහැක. “පියවරක් පසුපසට ගොස් සිතන්න” යැයි පවසන විට, එය “සුන්දර ආත්මය” (කාරුණික, ආර්ථික හෝ බුද්ධි දාන දෙන ස්වභාවයක් ඇති, විශ්වාසවන්ත, අව්‍යාජ, සමබර සහ අවබෝධයක් ඇති අය) කැඳවීමක් නොවේ. එනම්, එය කිසිඳු වරදක් නොකරන ලද ආත්මීයත්වයක උසස් සදාචාරාත්මක තත්ත්වය පූර්වාදර්ශණය කරන ස්ථාවරයක් නොවේ (ගෝල්ෆේස් අරගලයේ විශ්ව විද්‍යාලයේ සිටි ශුද්ධ වූ, යහපත්, ලෝකය පිළිබඳව දයානුකම්පා සහගත, ලෝකයට වැඩදායක, බුද්ධි දානපතීන්). කිසිවක් නොකිරීමට ඇති පෙළඹවීමක් සේ පෙනී යා හැකි මෙම තත්වය තුලින් යම් දේශපාලන වර්ධනයක්, දේශපාලන සිදුවීමක්, මහජන නැගිටීමක් හෝ මැතිවරණ සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් ගත යුතු බවක් අදහස් නොකරයි. එය යම් (සාමාන්‍යයෙන් ආරක්ෂිත) දුර සිට ඒවා විවේචනය කිරීම හෝ සැමරීම පවා ප්‍රතික්ෂේප නොකරයි. මෙය ඉහළ “සදාචාරාත්මක” බිමක සිට සෑම විටම වැරදි ක්‍රියාවලට බිය වන තත්ත්වයකට පත් වෙමින්, ක්‍රියා කිරීමෙන් ඉවත්ව  සිතීම තුල සිටින ලෙස කරන ඉල්ලීමක් ද නොවේ. “සුන්දර ආත්මය” (“beautiful soul”) අමතක කිරීමට නැඹුරු වන දෙය නම්, ආත්මය එය විසින්ම පුබුදුවන ආකාරය සහ විශේෂිත ස්වරූපයක් ගන්නා ආකාරය කෙසේද යන්න පිළිබඳව සදාචාරාත්මක තීක්ෂ්ණ බුද්ධියට ප්‍රකාශයක් නොමැති බවයි.
දේශපාලන වර්ග දෙකක් වෙන්කර හඳුනා ගැනීමෙන් මෙය සාරාංශගත කළ හැකිය: “විමුක්ති දේශපාලනය” දේශපාලන සිතීම සඳහා අත්හැරිය යුතු අතර, මේ ආකාරයෙන්, දේශපාලනයට සැබවින්ම ඉටු කළ හැකි දේ පිළිබඳව වඩාත් පරිමේය වීමට සහ ඒ තුලින් පළමු පියවර තැබීමට අපට හැකි වනු ඇත. මෙයින් අදහස් කරන්නේ අප එය නොකළ යුතු බව නොවන නමුත් එයින් අදහස් කරන්නේ, අද ප්‍රායෝගිකවාදය (pragmatism) සහජයෙන්ම දූෂිත හා අපිරිසිදු දේශපාලන වැඩ කටයුතුවලට අනුකූල වන බැවින්, එහිදී කිසිදු මායාවක් නොතිබිය යුතු බවයි.

Leave a Comment