තවදුරටත් රනිල් මෙසේ පවසයි:
“ගෝලීය දේශගුණික විපර්යාස සමග අපට ඉදිරියේ දී බරපතල ගැටලුවලට මුහුණදීමට සිදු වෙනවා. තේ කර්මාන්තය රැකගැනීමට නම් මෙම නිවර්තන දේශගුණික කලාපය දේශගුණික විපර්යාස වලින් ආරක්ෂා කරගත යුතුයි. ඒ පිළිබඳව යෝජනා අප ජාත්‍යන්තර සමුළුවලදී ඉදිරිපත් කර තිබෙනවා.
මෙම තත්ත්වය ලෝකයේ උතුරු අර්ධගෝලයේ සිදු වූ දැවැන්ත කාර්මීකරණයේ අහිතකර පළවිපාකයක් ලෙස ද හඳුන්වා දිය හැකියි. අප මේ පිළිබඳව කතා කළ යුතුයි. අපට දේශගුණික විපර්යාසවලට අනුගත වීමට සිදුව තිබෙනවා. ඒ වගේම ජලය පිළිබඳව තත්ත්වය ද ඉතා භයානක බව කිවයුතුයි.
පසුගිය දිනක මා කියවූ වාර්තාවක දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ භාවිතයට ගත හැකි ජලමූලාශ්‍ර වලට සිදුව ඇති හානිය පිළිබඳව කරුණු දක්වා තිබුණා. ජල මූලාශ්‍ර බොහෝමයක් මධ්‍යම කඳුකරයේ පවතින නිසා එය තේ කර්මාන්තයට ඍජුවම බලපානවා. අපි තව වසර 50කින් 60කින් අපේ වෙළඳපොල පවතින්නේ කොතැනද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි.”
රනිල් ක්‍රමක්‍රමයෙන් මේ වන විට සංස්ථාපිතව ඇති පරිසර විද්‍යාත්මක සංවාදය වෙත ප්‍රවිෂ්ට වෙමින් සිටී.
ආගම ජනතාවගේ අබිං ලෙස ප්‍රකාශ කලේ මාක්ස්ය. එය මෙසේය: “ආගම යනු පීඩිත ප්‍රාණියාගේ සුසුම වන අතර එය හදවතක් නැති ලෝකයක හදවත සහ ආත්මයක් නොමැති තත්වයන්ගේ ආත්මයයි. එය ජනතාවගේ අබිංය.”
මාක්ස්ගේ යුගයේ එසේ වුව ද අධ්‍යතන ධනවාදයේ අබිං බවට පත්ව ඇත්තේ සහ ලොව පුරා වර්ධනය වෙමින්, සාමාන්‍යකරණය වීමට ලක්වෙමින් ඇත්තේ පරිසරවාදයයි. අපට දැන් එය මෙසේ සංස්කරණය කොට නැවත ප්‍රකාශ කල හැකිය.
පරිසරවාදය යනු පීඩිත ප්‍රාණියාගේ (ඇත්තටම සියලුම ප්‍රණීන්ට අදාලව) සුසුම වන අතර එය හදවතක් නැති ලෝකයක හදවත සහ ආත්මයක් නොමැති තත්වයන්ගේ ආත්මයයි. එය ජනතාවගේ අබිංය.
කාර්මික ධනවාදය ව්‍යාප්ත වීමට පෙර පරිසර අර්බුධය යනුවෙන් තත්වයක් නොපැවතුනි. අතීතයේ පෙර නොවූ විරූ තත්වයක් උදාවන්නේ ඉන් පසුවය. එම තත්වය වඩාත් තීර්ව වීම ආරම්භ වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවය. ධනවාදය ආගමක් බවට පත්ව ඇති තත්වය තුල එහිම අනු නිකායවාදයක් ලෙස පරිසරවාදය සංස්ථාපනය වන්නේ එම සන්දර්භය තුලය. එම ආගමේ හරය නූතන විද්‍යාවයි. ඒ අනුව ධනවාදය ආගමක් ලෙස වැළඳගෙන සිටි රනිල් (සියලු දෙනා එසේ වැළඳගෙන ඇතත් එහි හොඳම ලාංකීය දේශපාලන නියෝජනය රනිල්ය) විසින් අලුතින් වැළඳ ගනිමින් සිටිනුයේ එහි එම අනු නිකායවාදයයි.
ලොව පුරා සෑම රටකටම අදාලව විවිධාකාර පාරිසරික ගැටළු තුලින් අර්බුධ උත්සන්න වී ඇත. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාවයි සහ උද්භිත විද්‍යාව යන විද්‍යාවේ මූලික බෙදීම් මත පදනම්ව ඇති සෑම ක්ෂේස්ත්‍රකම අර්බුධ හටගෙන ඇති අතර ඒවා වඩ වඩාත් උත්සන්න වෙමින් ඇත. ඒ ඒ ක්ෂේත්‍ර තුලින් ජනිතව ඇති එම අර්බුධ සඳහා ඒ ඒ විද්‍යාත්මක විසඳුම් සොයා ගැනීමට අදාළ ක්ෂේස්ත්‍ර වල විශේෂඥ ප්‍රජාවන් උත්සාහ දැරීම තුල සහ එම පැමිණෙන විසඳුම් වලින් තත්වය එන්න එන්නම උග්‍ර වෙමින් පවතී. වාතය, පෘතුවිය මතුපිට, පස, ජලය, ගහ-කොළ-ජීවීන් ඇතුළු සමස්ත පරිසරය, සාගරය සහ එහි සමස්ත ජීවය, යන සියල්ල අර්බුධයට යමින් ඇත.
නමුත් ඒ සියල්ල එසේ තිබියදී මේ වන විට විද්‍යාවේ ප්‍රධානතම අවධානයට ලක්ව ඇත්තේ ගෝලීය උෂ්ණත්වය ඉහල යාම පිළිබඳව කාරණයයි. ඒ දේශගුණික විපර්යාස යනු ඉතිහාසයේ විශාලතම වෙළෙඳපොළ අසාර්ථකත්වය බවට පත්ව ඇති බැවිනි.
මේ වන විට ‘හීට් ඩෝම්’ (‘heat dome’) – කාලගුණ සංසිද්ධි ඇති වෙමින්, අධික පීඩනයකින් යුතු උණුසුම් වාතය සම්පීඩනය වීමෙන් උෂ්ණත්වය ඉහළ නැගෙමින්, මීට පෙර එවැනි තත්වයන් ඇති නොවූ කලාප පුළුස්සා දමමින් තිබේ. එක්සත් ජනපදයේ වයඹ දෙසින් සහ කැනඩාවේ නිරිත දෙසින් උෂ්ණත්වය 50°Cට ළඟා වීමට එම තත්වය හේතු විය. එබැවින් වැන්කුවර් මැද පෙරදිගට වඩා උණුසුම් වීම ඇරඹී ඇත. මෙම කාලගුණ ව්‍යාධිය වඩාත් පුළුල් ක්‍රියාවලියක උච්චතම අවස්ථාව පමණි.
පසුගිය වසරවල උතුරු ස්කැන්ඩිනේවියාව සහ සයිබීරියාව තුල නිතිපතා 30°Cට වැඩි උෂ්ණත්වයක් දක්නට ලැබේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් සයිබීරියාවේ Verkhoyansk හි පවත්වාගෙන යන කාලගුණ මධ්‍යස්ථානයක (ආක්ටික් කවයට උතුරින්) ජුනි 20 වන දින 38°C වාර්තා වී ඇත. රුසියාවේ Oymyakon නගරය, පෘථිවියේ ශීතලම ජනාවාස ඇති ස්ථානය ලෙස සැලකේ. නමුත් එහි උෂ්ණත්වය ජුනි මාසයේ 31.6°C බවට ද පත් වී තිබුණි. කෙටියෙන් කිවහොත් “දේශගුණික විපර්යාස විසින් උතුරු අර්ධගෝලය පුළුස්සමින් තිබේ.
ඒ සියල්ල පැහැදිලිවම දේශගුණ රටා වල ගෝලීය කැළඹීමක ප්‍රතිපලයකි. සාගරයේ ජීවය සඳහා මෙම තාප තරංග වල ව්‍යසනකාරී ප්‍රතිවිපාක දැනටමත් පැහැදිලිව පෙනේ. ‘හීට් ඩෝම්’ කැනඩාවේ වෙරළ තීරයේ සාගර සතුන් බිලියන 2 ක් පමණ මරා දමා ඇඇති බව විශේෂඥයින් පවසති.
පසු ගිය වසර වල සහ මේ වසරේ යුරෝපයේ සමහර රටවල ඇති වූ අතිශය ව්‍යසනකාරී ගංවතුර මෙම ඉඟි වලින් තවත් එකක් වන අතර, පසුව කුමක් සිදුවේදැයි කිසිවෙකුට කිව නොහැක. ව්‍යසනය නුදුරු අනාගතයේ ආරම්භ වන දෙයක් නොව, එය දැනටමත් ඇත. ඒ යම් ඈත අප්‍රිකානු හෝ ආසියාතික රටක නොව සංවර්ධිත බටහිර රටවල හදවතෙහිය. කෙලින්ම කියනවා නම්, එකවර අර්බුද කිහිපයක් සමඟ ජීවත් වීමට පුරුදු විය යුතුව ඇත.
මෙම (සහ තවත් බොහෝ) දත්ත සන්සුන්ව විමසා බැලුවහොත්, ඒවායින් එක් සරල නිගමනයකට එළඹිය යුතුව ඇත. සෑම ජීවියෙකුටම, සාමූහික හෝ තනි පුද්ගලයෙකු ලෙස, අවසාන පිටවීම මරණයයි. මෑතක සිට පුපුරා යන පාරිසරික අර්බුද, මනුෂ්‍ය වර්ගයාගේම අවසාන පිටවීමේ (සාමූහික සියදිවි නසාගැනීමේ) යථාර්ථවාදී අපේක්ෂාවක් විවර කර ඇත.
එසේනම් එවැනි අසීරු අවස්ථාවක අප කළ යුත්තේ කුමක්ද? අප සියල්ලටම ප්‍රථම පොදු ප්‍රඥාවෙන් (common wisdom) වැළකී සිටිය යුතුව ඇත. පොදු ප්‍රඥාවට අනුව පාරිසරික අර්බුද වලට අදාළ පාඩම නම්, අප ස්වභාවධර්මයේ කොටසක් මිස එහි කේන්ද්‍රය නොවේ යනන්ත්, එබැවින් අපට අපගේ ජීවන රටාව වෙනස් කළ යුතුව ඇති බවත් බවත්, එසේම අපගේ පුද්ගලවාදය සීමා කිරීම, මිහිකත රැකීම සම්බන්ධයෙන් අපගේ පුද්ගල වගකීම අවධාරණය කිරීම, නව සහයෝගීතාවයන් වර්ධනය කිරගැනීම සහ අපගේ පෘථිවියේ ජීවය අතර අපගේ නිහතමානී ස්ථානය පිළිගත යුතුය වැනි සංකල්ප වර්ධනය කිරීමත්ය. එසේත් නැතිනම්, ජුඩිත් බට්ලර් පැවසූ පරිදි, “මිනිසුන්ට වාසය කළ හැකි ලෝකයක් රඳා පවතින්නේ එහි කේන්ද්‍රය ලෙස මිනිසුන් නොමැති සමෘද්ධිමත් පෘථිවිය මත වන අතර අපි පාරිසරික විෂවලට විරුද්ධ වන්නේ මිනිසුන් වන අපට වස විසෙන් බියෙන් තොරව ජීවත් වීමට සහ හුස්ම ගැනීමට පමණක් නොවන මුත් ජලයට සහ වාතයට ද එසේම අප මතම මධ්‍යගත නොවන ජීවිත තිබිය යුතු බැවිනි.” බට්ලර්ගේ සංකල්පය ද අයත් වන්නේ දැනට ගොඩනැගී ඇති පොදු ප්‍රඥාවටමය. එනම් ධනවාදය ඉදිරියට ගෙනයාමටය.
නමුත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ අනෙකුත් පාරිසරික තර්ජන අපෙන් ඉල්ලා සිටින්නේ ඇදහිය නොහැකි මට්ටමින් අපගේ පරිසරයට අතිශය බරපතල සාමූහික මැදිහත්වීමකි… ජීවයේ බිඳෙනසුලු සමතුලිතතාවයට සෘජු මැදිහත්වීමකි. නමුත් එය විද්‍යාව විසින් ඉල්ලා සිටින විද්‍යාත්මක මැදිහත් වීම නොව සාමුහික දේශපාලන ක්‍රියාකාරීත්වයක් විය යුතුව ඇත. නමුත් දැඩිව හිඟව පවතින්නේ ද එයයි.
සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාම 2°Cට වඩා අඩුවෙන් තබා ගත යුතුයැයි වැනි විද්‍යාත්මක දැනුවත්භාවයන් තුලින් ගෝලීය උෂ්ණත්වය පැවතිය යුතු අදාළ මට්ටම් පිළිබඳව පවසන විට, ඔවුන් කතා කරන්නේ (සහ ක්‍රියා කිරීමට උත්සාහ කරන්නේ) සමස්ත පෘථිවියේ ජීවයේ සාමාන්‍ය කළමනාකරුවන් ලෙස, මෙතෙක් කල් විද්‍යාව විසින් සංස්ථාපිත තත්වයන්ගේ සහ විසඳුම් වල ප්‍රතිඵල තුලින් තත්වය එන්න එන්නම උත්සන්න වී ඇති බව පිළිගැනීමට හෝ නිහතමානී වීමක් ලෙස නොවේ. තවද, ‘carbon footprint’, ‘water footprint’ වැනි ගණනය කිරීම් සිදු කිරීම සහ ඒවාට බදු ප්‍රතිපත්තීන් හඳුන්වා දීම තුලින් සිදුවන පාරිසරික හානිය වලකා ගැනීම සඳහා දැනුමෙන් කටයුතු කිරීමට ඒ මුදල් වියදම් කිරීම වැනි ක්‍රියාවන් එම කළමනාකරණය තුල අඩංගු වේ. පෘථිවියේ පුනර්ජනනීයත්වය පැහැදිලිවම “මිනිසුන්ගේ කුඩා හා වඩා බුද්ධිවාදී-සාවදාන භූමිකාව” මත රඳා නොපවතී. එය දැන් ඔප්පු වී ඇත. එය මිනිසුන්ගේ අවසන්භාවය සහ මරණ පිළිබඳ සියලු කතාවලට යටින් ඇති සත්‍යය වන මිනිසුන්ගේ යෝධ ක්‍රියාකාරීත්වයේ භූමිකාව මත රඳා පවතී.
කෙසේ වෙතත් සරල අර්ථයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හැඳින්විය හැක්කේ සමස්ත අර්බුධය තුල විද්‍යාව විසින් හඳුනාගන්නා එක් දර්ශකයක් ලෙස පමණි. එහි සමස්ත බලපෑම පිළිබඳව විද්‍යාවට සංයුත්තතාවයක් නොමැති අතර ඇත්තේ සංශයවාදයක් පමණි.
ගෝලීය අවධානය එසේ තිබියදී රටවල් සහ ප්‍රදේශ වලට විශේෂිත වූ තත්වයන් ද උද්ගතව ඇත. ලංකාවට අදාලව ගතහොත් උද්ගත වීමට නියමිත එක් ප්‍රධාන අර්බුධයක් වන්නේ ඉදිරියේදී බීමට සහ සේදීමට ගැනීම සඳහා සුදුසු ජලය නොමැති වීමේ තත්වයක් උද්ගත වීමට නියමිතව තිබීමයි (එසේ වන්නේ ගෝලීය උෂ්ණත්වයේ බලපෑම මතම නොවේ). නමුත් කිසිවෙකුත් ඒ සඳහා සාවදාන වීමක් නොමැත. පැහැදිලිව පෙනෙන තවත් අර්බුධ රාශියක් ඇත. නමුත් ලාංකීය දේශපාලනයේ අවධානය යොමුව ඇත්තේ ‘ජනතාව’ ට ඇමරිකානු මොඩලයේ ජීවිතයක් ලබා දෙන්නේ කෙසේද යන්න පිලිබඳවය. වාමාංශික ඉල්ලීම වන්නේ ද එයයි. ඒ අනුව දැන් ඒ සඳහා ඉදිරිපත්ව ඇති මහා ප්‍රතිභාවන්ත සුධීමතා බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහයි. ඔහු දැන් නිතර කතා කරනා කාරණයක් වී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය ඉහලයාම පිලිබඳ කාරණයයි. ඒ ඔහු අදහන බටහිර ලෝකයේ කතිකාවක් බවට එය පත්ව ඇති බැවිනි. ගෝලීය උෂ්ණත්වය ඉහල දැමීමට අදාළ දායකත්වය සම්බන්ධයෙන් ගතහොත් ලංකාව යනු අඟුටු මිට්ටේකි. ලංකාව තුල ඉතා බරපතල පාරිසරික අර්බුධ රාශියක් පැනනැගී තිබුනද රනිල්ගේ අවධානයට ලක්ව ඇත්තේ ගෝලීය උෂ්ණත්වය පමණි. නමුත් රනිල් ගමන්කරමින් සිටිනුයේ තම සුපුරුදු පැරණි විනාශකාරී මාවතෙහිමය.
රනිල් මේ වන විට පවසා සිටින්නේ නියාමනය ඉවත්කොට තරඟකාරී පුද්ගලීකරණය වූ ආර්ථිකයක අවශ්‍යතාවය ඇති බවය. නියාමනය ඉවත් කිරීම යනු සියලු පරිසර නීති රීති ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම ද ඇතුලත්වය. මේ යුගයේ ආයෝජකයින් හට ලාභ ලැබිය හැක්කේ ශ්‍රම-කාලය පිළිබඳව කාරණයට වඩා අතිශය වැඩි වශයෙන් පරිසර ප්‍රතිපත්තිය සහ ඊට අදාළ බදු පිළිබඳව කාරනා සැලකීම තුලය. රනිල්ගේ පූර්වජයින් ක්‍රියා කරන ලද්දේ ද මෙලසමය.
දේශගුණික විපර්යාස යනු ඉතිහාසයේ විශාලතම වෙළෙඳපොළ අසාර්ථකත්වය බවට පත්ව ඇති තත්වය තුල ලංකාව කර්මාන්ත පුරවරයක් කිරීමට සහ මහා පරිමාන කෘෂි සමාගම් වල වගා භූමියක් බවට පත්කිරීමට සිහින දකින රනිල් සහ ඔහුට උපදෙස් දෙන ආර්ථික විද්යාඥයන් පාරිසරික අර්බුධ පිළිබද කාරණා නොසලකා හැර ගණනය කිරීම් සිදු කරමින් සිටී (ඇත්ත වශයෙන්ම ඔවුන් ලෝක දේශපාලන තත්වය හෝ ආර්ථික තත්වය හෝ නොසලකයි). රනිල් සහ ඔහුගේ ආර්ථික උපදේශකයින් තේරුම් නොගන්නේ ඇමරිකානු ජීවිතයක් ලාංකිකයාට ලබා දීමේ සිහිනය කෙසේ වෙතත් අහාර පාන සපයා ගත හැකි වන තත්වයක් පවත්වා ගැනීම සඳහා හෝ වගා කටයුතු කල හැකි තත්වය අවධානමට ලක්වෙමින් ඇති බවය (නවීන විද්‍යාත්මක කෘෂිකර්මාන්තය ඒ සියලු පාරිසරික කාරනා ජයගනු ඇති බව රනිල් සිතනවා ඇත. රනිල් පමණක් නොව සියලු උගතුන් සිතන්නේ එසේය.)
ධනවාදය තුල ජීවිතය යනු සැම විටම අනාගතය වෙනුවෙන් පවතින්නකි. එය ප්‍රභූ දේශපාලනයේදී පැහැදිලිව නියෝජනය කරනා ප්‍රභූවරයා රනිල්ය. අධ්යතන සමාජය යනු වර්තමානය පාවා දී අනාගතය වෙනුවෙන් ජීවත් වන මිනිසුන් සිටින සමාජයකි. එහි ජීවත්වන මිනිසුන් පසුවන්නේ ප්රමෝදයෙනි (jouissance). ප්රමෝදය යනු අනාගතයේ අත්පත්කොට ගත හැකි උතුරා යන මහත් සංතෘෂ්ටියක් වෙනුවෙන් තම මේ මොහොතේ ආශාව (ආශාව යනු සැම විටම ‘අනෙකාගේ ආශාවය’) පාවා දෙන, කල්දමන මිනිසුන් සිටින සමාජයක (කල යුත්තේ ආශාව හඹා යාම බවක් මින් අදහස් නොකෙරේ) දරුවෙකු බහ තෝරන වයසේ පටන් එම දරුවාට ජීවිතය පිළිබඳව ලබා දෙන අවබෝධය තුල අන්තර්ගත වන්නේ අනාගතයේ සාක්ශාත්කොට ගත හැකි පරිපූර්ණ සංතෘෂ්ටිය පිලිබඳවය. උදාහරණයකින් පවසන්නේ නම් දරුවාගේ සෙල්ලම් කිරීම පිළිබඳව ආශාව පාවාදෙමින්, රෝගී තත්වයන්ට පත්වෙමින්, අසහනකාරී ලෙස ඉගෙනීම සඳහා වෙහෙසිය යුත්තේ ඒ තුලින් අනාගතයේදී සාක්ශාත්කොට ගත හැකි පරිපූර්ණ, ඉමහත්, උතුරා යන, සංතෘෂ්ටිය උදෙසාය.
දේශපාලනයේදී රනිල් සැමවිටම ක්රියා කරනුයේ අනාගතය ගැන සිතමිනි. ඔහු ආර්ථිකමය වශයෙන් සිටිනුයේ 2035 වසරේ වන විට සංවර්ධනමය වශයෙන් සිටිනුයේ 2050 වසරේය. ඒ අනුව සංතෘෂ්ටිමත්, පරිපූර්ණ අනාගතයක් වෙනුවෙන් වර්තමානය කැප කළ යුතු බවේ බටහිර නූතනත්ව උරුමයේ නියමාකාර ලාංකීය නියෝජිතයා ඔහුය. එවිට UNP කාරයින්ට ද වඩා රනිල් පාර්ශවයේ මාරාන්තික උත්කර්ශකයින් වන්නේ ට්රොස්කිවාදී වාමන්ශිකයින්ය. ඔවුන් උග්ර “සිංහල බෞද්ධ විරෝධීන්ය”. සියලු ආගම් ප්රතික්ෂේප කරමින් රාජ්යය ලෞකික විය යුතු බව තරයේ කියා සිටී. නමුත් ඔවුනට නොපෙනුයේ ඔවුන් බලාපොරොත්තු වන ලෞකික රාජ්යය යනු සියලු ආගම් අභිබවා යන (කිසිඳු ජගත් ආගමක් තුල අනාගතවාදයක් නොමැති අතර ආගම් පදනම් වන්නේ මේ මොහොතේ ජීවිතය වෙනුවෙනි) ආගමික සංස්ථාපනයක් බවය. ලාංකීය ලෞකික රාජ්යය (සැබවින්ම ලොව කොතැනක හෝ එවැනි අටමගලයක් නොමැත) පිහිටුවිය හැකි පුරෝගාමියා සේ ඔවුන් දකිනා රනිල් යනු එකී අර්ථයෙන් සියලු ආගම් අභිබවා යන ආගමක් අදහන්නෙකි (එම ආගමට කියන නම ධනවාදයයි). වෙනත් වචන වලින් පවසන්නේ නම් ලෞකික රාජ්යය යනු දෘෂ්ටිවාදයේ උපරිම ක්රියාකාරීත්වයක් බව ප්රජාතන්ත්රවාදී ලෞකික රාජ්යය සංස්ථාපනය කල යුතු බව පවසන්නන්ට නොවැටහේ.
“ඔබේ ආශාව පාවා නොදෙන්න” (“do not compromise your desire”) යන ලකානියානු ප්රකාශය තුලින් හැඟවෙනුයේ සුඛපරමවාදය වෙත පිවිසිය යුතුය යන්න නොවේ. එය පැහැදිලිවම ඉහත විස්තරකරන ලද අනාගතවාදයට එරෙහි ප්රවේශයයි. එනම්, මිනිසුන් නියැලී සිටින ප්රමෝදජනක අනාගතවාදී යාන්ත්රනය කඩාකප්පල් කල හැකි, විනාශ කල හැකි ආචාරධාර්මික ආමන්ත්රනීය ප්රවේශයයි.
නිශ්චිතවම ප්රකාශ කළ යුතු පළමු දෙය නම් ලැකානියානු ආචාර ධර්ම යනු සුඛපරමවාදයේ ආචාර ධර්ම නොවන බවයි. එනම්, “ඔබේ ආශාව සම්මුතියට පත් නොකරන්න” (“do not compromise your desire”) යන්නෙන් අදහස් කරනුයේ ෆ්රොයිඩ් විසින් “සංතෘෂ්ටි මූලධර්මය” ( “the pleasure principle”) ලෙස හැඳින්වූ සතුට සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් අධ්යාත්මික උපකරණවල ක්රියාකාරීත්වයේ අසීමිත රීතිය නොවේ. ලැකාන් සඳහා, සුඛපරමවාදය යනුම ඇත්ත වශයෙන්ම “යථාර්ථනිරූපිතවාදී සම්මුතීන්” වෙනුවෙන් ආශාව කල් දැමීමේ ආදර්ශයයි. එනම්, එය පමණක් නොව, උපරිම සංතෘෂ්ටිය ලබා ගැනීම සඳහා පමණක් නොව, තමන් හට කෙටි කාලීන සතුට වැඩි වැඩියෙන් කැප කරමින්, කෙටිකාලීන සතුට ලබා ගත යුතු ප්රමාණය ගණනය කර ආර්ථිකකරණය කළ යුතුව ඇත්තේ වඩා තීව්ර, අධිකතර දීර්ග කාලීන සන්තෘෂ්ටීන් වෙනුවෙනි. ඊටත් වඩා වැදගත් දෙය නම් ඒ සඳහා ප්රමෝදජනක රිදවීම්-විඳවීම් තුල ජීවත්වීමයි. එබැවින්, පළමුව සඳහන් කල යුත්තේ, “සංතෘෂ්ටි මූලධර්මය” (pleasure principle) සහ එහි ප්රතිමූර්තිය වන “යථාර්ථ මූලධර්මය” (“reality principle”) අතර කිසිදු බිඳීමක් නොමැත යන්නයි. “යථාර්ථ මූලධර්මය” (අපගේ සතුට සඳහා වන සෘජු ප්රවේශයට බාධා කරන සීමාවන් සැලකිල්ලට ගැනීමට අපට බල කිරීම) “සංතෘෂ්ටි මූලධර්මයේ” ආවේනික දිගුවීමක් වේ.
“මහා අනෙකාගේ” (big Other) පැවැත්ම ප්රතික්ෂේප කරන අනෙක් ගුරුකුලය වන බුද්ධාගම පවා “සංතෘෂ්ටි මූලධර්මයේ” පෙළඹවීම් වලින් නිදහස් නොවේ. බෞද්ධ භික්ෂූන් දේශනා කරනුයේ ජීවිතයේ අරමුණ සතුටින් සිටීම බවයි. නමුත් මනෝ විශ්ලේෂණය සඳහා එය සත්ය නොවේ. “මිනිසුන් සතුටට කැමති නැති බවත්, ඉංග්රීසි ජාතිකයින් පමණක් සතුටට කැමති” බවත් නිරීක්ෂණය කරන ලද්දේ නීට්ෂේ විසිනි. වර්තමාන ගෝලීයකරණය වූ සුඛපරමවාදය යනු ගෝලීය ධනවාදයේ තත්වයන් තුළ, මෙසේ හුදෙක් එම කාරණයේ උඩු යටිකුරු වීමයි. අපි සියලු දෙනා දෘෂ්ටිවාදාත්මකව “ඉංග්රීසි ජාතිකයන්” (හෝ, ඒ වෙනුවට, ඇන්ග්ලෝ-සැක්සන් ඇමරිකානුවන්…) බවට පත්ව ඇත. එසේනම් සංතෘෂ්ටි මූලධර්ම රීතියේ වරද කුමක්දැයි කෙනෙකුට විමසිය හැකිය.
ආචාර ධර්ම ක්රියා කරනුයේ ආත්මයේ (subject) සමස්තතික සමතුලිතතාවයට බාධා කරන විදේශීය ආක්රමණිකයෙකු ලෙසය (ආචාර ධර්ම පනවනු ලබන්නේ සාමාන්ය සමාජයට ඉහලින් සිටින අධිකාරීත්ව දූරාවලියක් විසිනි). එහි දරාගත නොහැකි පීඩනය සංතෘෂ්ටීන් ලුහුබැඳීම නොසලකා හරිමින් “සංතෘෂ්ටි මූලධර්මයෙන් ඔබ්බට” ක්රියා කිරීමට ආත්මයට බල කරයි. එබැවින් ප්රමෝදය යනු ඔහුගේ හෝ ඇයගේ අභ්යන්තර විභවය සාක්ෂාත් කර ගැනීමක් ලෙස ආත්මයට ස්වභාවිකව ලැබෙන දෙයක් නොවන මුත් ක්ෂිතිමය සුපර්-ඊගොයික (superegoic) නිරෝධ ආඥාවක අන්තර්ගතය වේ. අධ්යතන අනාගතවාදී සමාජය තුල මිනිසුන්ගේ ජීවිතය එසේය. ඒ අනුව ඊට හොඳම තත්වය උදා කොට දීම සඳහා පොරොන්දු වන්නේ රනිල් වික්රමසිංහයි. දේශපාලනයේ සිටිනා අනකුත් සියලු පක්ෂ සහ පුද්ගලයින් ඔහුගෙන් වෙනස් නොවේ. එසේ බලන කල ඇමරිකාවේ මෙන්ම ලංකාවේද ඇත්තේ එක් දේශපාලන පක්ෂයකි. ඒ UNPයයි.
ප්‍රතිචාර:
https://web.facebook.com/groups/www.spartacus.lk/posts/3536269719949948
ප්‍රතිචාර:
https://web.facebook.com/nirmal.dewasiri.3/posts/pfbid08vfCpnKJHUe1BEvNb6T6fnVYfELDZ3LcMsV9wfh1Ad9JzkG4fF4Dew6HVEkDJYcvl?comment_id=729565512285751&reply_comment_id=746214410605624¬if_id=1693506467695629¬if_t=mentions_comment&ref=notif